Labels

Thursday, July 14, 2016


ආදරණීය කතාවක් සිනමා සටහන- ප්‍රියන්ත කොළඹගේ සිනමාව

කඩවුනු පොරොන්දුවෙන් ඇරඹුනු මෙරට සිංහල සිනමා වංශ කතාව මුල් යුගයේදී අයත් වුවේ දකුණු ඉන්දියානු නිෂ්පාදක වරුන්ටය. එකල දැඩි ඉන්දීය සිනමා සමිමතයෙන් උපන් අප සිනමාව හැදි වැඩුනේද ද්‍රවිඩ සිනමාකරුවන්ගේ සෙවනේය . ගුණරත්නමි නායගම් අතට පත්වු සිංහල සිනමා‍වෙන් උපන් දරැවා අපේ නොවුවද ඔහු උපත ලැබුවේ අප බිමේය. අනතුරැව අප සිනමාවේ පියාණන් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් -ටයිටස් තොටවත්ත සහ විලී බ්ලේක් සමග එකතුව කන්ථක අසු සිංහල සිනමා නේරංජනාවෙන් පැන්නූවේ හෙල සිනමා රන්දෙවොල මුල්ම අනගි සම්මාදම ලෙස රේඛාව දායාද කරමිනි . රේඛාවෙන් උපන් සිංහල සිනමා තිඹිරිගෙය තුලින් උපන් මුල්ම ඵලය වුවේ ගම්පෙරළියයි . එය සැබැවින්ම මෙතෙක් අප සතු වට්ටෝරු ඉන්දිය සිනමාවට අභියෝග කල මුල්ම මෙන්ම උත්තම චිත්‍රපටයද විය . ගම් පෙරළිය නරඹා සිනමා හලෙන් එලියට ආ මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයන් පැවසුවේ කුමක්ද මා මේ දුටු ආශ්චර්යය යනුවෙනි . එතැන් පටන් යුගයෙන් යුගයට පහල වු ශ්‍රී ලාංකේය සිනමාකරැවන් විසින් හෙල සිනමා රන් දෙවොලට දායාද කල රන් පිළිම රාශියක් වෙයි . නාමික ලෙස මෙම චිත්‍රපට සියල්ල සදහන් කල නොහැකි වුවද ආචාර්ය සිරි ගුණසිංහගේ සත්සමුදුර- හෙලයේ මහා කවියාණන් වු මහගමසේකරයන්ගේ තුංමංහන්දිය ආචාර්ය තිස්ස අබේසේකරගේ විරාගය- ආචාර්ය නිහාල්සිංහගේ වැලිකතර ඉන් ප්‍රධාන තැනක් ගනී.

70 දශකයේදී සිනමාව නැඹුරැ වුවේ මහත් පිබිදිමකටය. ඒ අනුව සිනමා නැවුම් ප්‍රතිභාවක සුවද මෙරට සිනමා ප්‍රේක්ෂකයාට ලබා දුන් අප සිනමාකරැවෝ සිනමා කෙත අසුවැද්දූහ . ඒ අනුව සුගතපාල සෙනරත් යාපා- වසන්ත ඔබේසේකර-මහගමසේකර-ආචාර්ය ධර්මසේන පතිරාජා- ආචාර්ය තිස්ස අබේසේකර- සිනමා ඇදුරන් සිය නිර්මාණ බිහි කලහ .එම කෘතිවල මතුව ආ ගැඹුරැ යථාර්ථය අද දවසේද අපේ සිත් පහන් කරවයි .
80 දශකයේ මුලදී මෙම මහගු සිනමා වියමන් නිපදවීම බිද වැටුනු අතර එතෙක් පැවැති යථාර්තවාදී සිනමාව යළිත් අවතැන් කරමින් ජනප්‍රිය හින්දි සිනමා අනුකාරය ඉස්මතුවන්නට වීය . ඒ අනුව බිහිවු නිර්මාණ ගැන මෙහිදී කතා නොකලද 77 න් උපන් මෙරට වසල වෙළද කුලය සිනමාවට කල හිංසනයේ විපාක අද දවසේද අප අත් විදිමින් සිටිමු .අප සිනමාව බිද වැටෙමින් පවතියි. රුපවාහිනිය විසින් එක් යුගයකදී සිනමාව කුරුසපත් කර ගැසු ගොල්ගොතා ඇණය සිනමාව බිද වැටිමට එක් හේතුවක් වු අතර තවත් බොහෝ කාරණා ඒ සදහා බලපෑ බව අප දනිමු .

මේ වනවිට සිංහල සිනමාවේ නිපවන චිත්‍රපට ගණන දිනෙන් දින අඩුවෙමින් පවතිනවාට වඩා වැඩි වේගයකින් සිනමාහල්වල පුටු හිස්වෙමින් පවතින බව කිව යුතුය .කර්මාන්තයක් ලෙස සිනමාව අඩාල විම තුල කාර්මික ශිල්පීන් සිය ගණනින් අවතැන්ව සිටින අතර සිනමාවේ ප්‍රබල නළු නිළියන් පවා පුංචි සිහින තිරයේ මාලා නාටක තුල අතරමංව සිටිනු පෙනේ .ඒ මහත් ශිල්ප ගුණයෙන් පිරිපුන් වුවද ඔවුනට කල හැකි විකල්පයක් නොමැති බැවිනි .කර්මාන්තයක් ලෙස සිනමාව නැවතුනු නිසා ප්‍රේක්ෂක විඥාණයට අතහිත දෙන පිරිපුන් නිර්මාණද බිහි නොවන අතර සිනමා වෘක්ෂය මැරෙමින් පවතින බැවින් පුෂ්පයන් නූපදිනු විද්‍යාමාන වෙයි .
සිංහල සිනමාවට එක්වන නවතම චිත්‍රපටය වන ආදරණීය කතාවක් අපට වැදගත් වන්නේද මෙම පසුබිම යටතේය .සිනමාවේ අවරගනය සිදුවන විට නැවත හිස්වු අසුන් වෙත ප්‍රේක්ෂකයා කැන්දාගෙන ඒමේ සිනමා සම්ප්‍රදායක් වත්මනේ බිහිවිය යුතුමය . එය මෙරට තරැණ මෙන්ම මෙතෙක් නිර්මානකරණයේ යෙදුනු සිනමාකරැවන්ද සිතා බැලිය යුතු ප්‍රධාන අභියෝගයකි .


ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කල ආදරණීය කතාවක් - පවතින සිනමා අර්බුදය තුල පෙරළිකාර චිත්‍රපටයක් වනු ඇතැයි මම විශ්වාස කරමි . ඒ අනුව ආදරණීය කතාවක් අපට අහිමි වූ සිනමා ප්‍රේක්ෂකයින් යළි ලබාදෙන සිතුවමකි .ප්‍රියන්ත සිය මුල්ම චිත්‍රපටය වු1 දැහැනේ සිට විමුක්ති අරැමෝසමි වැහි හරහා වඩවා ගත් සිය රුප ඥාණයේ චමත්කාරය වඩාත් ඉස්මතු කරන්නේ මෙහිදිය . රාමුව තුල නලු නිළි පෙල ගැස්විමේදි භාවිතා කරන රංග භාණ්ඩ-වස්ත්‍රාභරණ- ඒවායේ නිසි වර්ණ රටා- ආලෝකය හා අදුර මැවීම යනාදියේදී ප්‍රියන්ත පල කරන නිපුණත්වය මෙම චිත්‍රපටයේ කැපි පෙනෙනම ලක්ෂණය ලෙස මම දකිමි.

සිනමා නිමැවුමක රුපයෙන් රුපයට මෙම ලක්ෂණ එකිනෙකට වෙනස් වනවිට එය පැහැදිලිව දැනෙන්නට වෙයි.එය වනාහී සංගිතඥයකු මනහරව වයන විට එක් ස්වරයක් වැරදිව වාදනය වුවා ලෙස දැනෙන්නකි .එහෙත් ආදරණිය කතාවක් එම ගුණය රැකගෙන ගලා යයි .බොහෝ විට සිදුවන්නේ සිනමා පටයක කතාන්දරයට කිසිවකු වශී වු විට එම රුප දෝෂ හසු නොවිමයි. එහෙත් වත්මන් ප්‍රෙක්ෂකයා වඩා ඉදිරියෙන් ලෝකය හා ගනුදෙනු කරන බැවින් මෙවැනි දෝෂ ක්ෂණයකින් අවබෝධ කර ගනිති .එහෙත් සිනමාකරැවකුට සිය කතාව මෙන්ම රුප රසයද අනිවාර්යය යැයි මම විශ්වාස කරමි .ප්‍රියන්ත ඒ බව අවබෝධ කරගත්තකු යැයි මා පවසන්නේ නිහතමානිවමය .සිය කැමරා ශිල්පී රුවන් කොස්තා හා එකතුව ප්‍රියන්ත මවන සිය සිනමා රූප සුමටය . එක් රූපයක් තවත් රූපයකට මාරැ වන්නේද නිශ්චිත ලයකට අනුව බැවින් රූප දෙස බලා සිටින්නන්ට වෙහෙසක් නොම දැනේ . එය සිනමාකරැවකුගේ පැසුණු බවට නිදසුන්ය . ඒ පැසුනු බවේ මුලික ලක්ෂණය වන්නේ ප්‍රකාශණයේ නිරවුල්බව- සහ සංක්ෂිප්තභාවයයි.

සිනමාකරැවකුට මෙම පැහැදිලි බව ලබා ගන්නට බොහෝ කාලයක් ගතවෙයි . එය හතු පිපෙන්නාක් මෙන් එක් රැයකින් පිටපතක් ලියා අනතුරැව පුටුවක වාඩිවි අධ්‍යක්ෂක ලෙසින් අණ දීමෙන් ලබා ගත හැක්කක් නොවේ . ඒ සදහා සිනමාකරැවකුය සිය ජීවිතයේ නේක දුක් විදිමින් වන්දනා ගමනක යෙදෙන්නට සිදුවෙයි . බොහෝ සිනමාකරැවන් සිය ජිවිත ජය ගන්නේද එසේමය . සිය මුල්ම කෘතියෙන් රැපඥාණය පලකරන සිනමාකරැවන් ලොව සිටින්නේ අතලොස්සකි . සිටිසන් කේන් හැදූ ඕසන් වේල්ස්ද -පාතර් පංචලී නිර්මාණය කල සත්‍යජිත් රායිද එවැන්නෝය . එහෙත් බහු සිනමාකරැවන්ට මෙම ශක්තිය ලබා ගන්නට ක්‍රමිකව සතත අභ්‍යාසයේ යෙදෙන්නට සිදුවේ .මිල මුදල ඇතිනම් චිත්‍රපටයක් කල හැකි යයි සිතන වසල වෙළද කුලයට වඩා බොහෝ දේ සිනමාකරුවකුට සිය නිමැවුම සදහා එකතු කර ගත යුතුය . රූපඥානය බිහිවන්නේද ඒ අනුවය .
ප්‍රියන්ත කොළඹගේ මෙම සිනමා රූප ඉමට ලංවන්නේ බොහෝ කාලයක් වෙර විරිය යොදා සතථ අභ්‍යාසයේ යෙදිමෙන් ලද අත්දැකිමෙනි . නිශ්චල ජායාරැප ශිල්පයෙන් උපන් ඔහු අධ්‍යක්ෂක පුටුවේ වාඩි වි සිටින්නේ එක් රැයකින් නොවේ. ක්‍රමිකව මතුව ආ ඔහුගේ රූප ප්‍රතිභාවේ කුටප්‍රාප්තිය ආදරණීය කතාව තුලින් විද්‍යාමාන වෙයි . .ජිවිතය තුල ක්‍රමිකව මතු කරගත් මෙවැනි රපඥාණය ලබන සිනමාකරැවන් සැබැවින්ම වාසනාවන්තය . ප්‍රියන්තද එවැන්නෙකි .

සිය ජීවිත නිර්මාණවේදයේ තවත් කඩඉමක් පසුකරන ප්‍රියන්ත කඩා වැටුනු අප සිනමා කර්මාන්තයට ලබා දෙන සම්මාදම මට නමි කිසිසේත් ලුහුඩු කර දැක්විය නොහැකි වෙයි . එය නිර්මානකරුවකු ලෙස මා අගය කල යුත්තකි.නොඑසේ නම් මා කුහක යැයි මට සිතෙයි . .මේ ලිපිය කියවන ඇතැමුන් මා ගැන වෙනස් අදහස් දරනු ඇත. එහෙත් මට නම් එය කම් නැත .ආදරණීය කථාව තුල මතුව එන සිනමාකරුවාගේ රුපාවේශය මට අමතක කල නොහැකිය .කඩා වැටෙන සිනමාව වෙනුවෙන් කරනු ලබන මේ සම්මාදමට මා අවංක විය යුතුය . චිත්‍රපටයක් සම්භව්‍යයද නැතහොත් එසේ නොවන්නේදැයි සමහරු තර්ක කරති .ඒවා අයත් වන්නේ බුද්ධ්මත් විචාරක වියතුන්ටය .මා ලියන්නේ මට සිතෙන සිත් සටහනයි .

ආදරණීය කතාවක් නරඹා එහි අඩුපාඩු ඇත්දැයි විමසීම අප ඉදිරියේ මනහර නර්තනයක යෙදෙන මොණර කිකිළියකගේ ගැලවුනු පියාපතක ඇද සෙවිම තරමටම අනුවණකමක් යැයි මට සිතෙයි .
හිමිදිරි පාන්දර අවදිවන විට කැළණි ගං මිටියාවතේ සුළග සමග පියඹා එන කුරැල්ලකු මම ඉදහිට දකිමි . රලු පරළු කැළණි හන්දියේ නුවර පාර සමීපයේ තරග කරන රිය සක නලා හඩ තලන්නට පෙර ඇසෙන මේ කුරැලු නදට මම පෙම් කරමි . එහෙත් ඒ කුරැල්ලා කියන්නේ කුමක්දැයි මට තේරැම් නොයයි .මම ඒ ගැන පෙරලා උගෙන් ප්‍රශ්නද නොකරමි . එහෙත් කුරැලු තෙම ගයන නාදයේ ස්වරය කන්කළුය . ප්‍රියන්ත කොළඹගේ සහෘදයාගේ ආදරණීය කතාවක් හි රුප රචනයේද මා දක්නේ එයයි .
හිස්ව ගිය සිනමාහලට යලි සහෘදයන් කැදවන සිනමා සහෘද ප්‍රියන්ත -ගොර බීරැම් හඩ අවටින් ඇසුණාවේ. හෙල සිනමාව වෙනුවෙන්ම ඔබ සිනමා ගීය නොනවතා ගයන්න .

සුදත් දේවප්‍රිය
17 .06.2016

හිමිදිරිය.

No comments:

Post a Comment