Wednesday, July 13, 2016
චෙරි ගෙඩියක නැවුම් රස-
(අබ්බාස් කියරොස්තාමි සිනමාකරුගේ නික්මයාම වෙනුවෙනි)
එකිනෙක පෙරළාගෙන පියාඹන්නට පොරකන රියසක නොකඩවා ඉදිරියට ඇදෙයි. දූලි වලා මැදින් ගලන හිරි ගඩු පිපෙන හීතලට මැදිව වීදිය දිගේ පිය මනින මිනිසුන් කතා බහකින් තොරව ගමන් කරන්නේ අවතාර සමූහයක් මෙනි. තවමත් විදියේ දෙපස කඩ සාප්පු විවෘතව නැති වුවද මිනිසුන්ගෙන් වීදිය පිරි පවතියි. වීදිය මැද සිට මැසිමක වේගයෙන් වාහන වලට සිය දෑතින් සංඥා දෙන තරැණ පොළිස් භටයාට හුස්ම ගැනිමටවත් ඉස්පාසුවක් නොමැත. ඔහුගේ සිත වීදියේ පෙනෙන රිය පෙළ අතරින් දසත දිව යයි. හෙට අනිද්දායින් ඇරඹෙන සිය විශ්ව විද්‍යාල විභාගයට ගෙවිය යුතු ගාස්තු සුළු පටු නොවේ. එය නියමිත දිනට ගෙවිය යුතුමය. තරුණයා පොළිස් භටයකු වූවේ ලලිත කලා උපාධිය හදාරන්නට මුදල් ඇවැසි නිසාමය . කලාව යන්න සිය ආත්මයේ නිසගව සැගව තිබුනද ඔහුට සිදුවූවේ මහ මග ගිනියම් අව්වේ රිය සක හා තරග කරන්නටය. මේ තරුණ පොළිස් භටයා අන් කවුරැන්වත් නොව පසු කලෙක ජගත් සිනමා රන් දෙවොලට ඉරානය රැගෙන ගිය මහා සිනමාකරු වූ අබ්බාස් කියරොස්ත්තාමිය . ඔහු ජීවිතය පටන් ගත්තේ එලෙසය.
අබ්බාස් කියරොස්ත්තාමි යනු ජගත් සිනමාවට නුපුරුදු නාමයක් නොවේ. 1997 වර්ෂයේ ලොව සිනමාකරුවන්ගේ උත්තම පාරාදිසයක් බදු කාන් සිනමා උළෙලේ පාම් දෝ සම්මානය දිනාගත්තේ ඔහුය. ඒ කියරොස්තාමි විසින් නිර්මාණය කල අසහාය සිනමා නිර්මාණය වූ ටේස්ට් ඔෆ් චෙරි චිත්‍රපටය වෙනුවෙනි.
1940 වර්ෂයේ ඉරානයේ ටෙහෙරාන් නුවර මෙළොව එළිය දුටු අබ්බාස් කියරොස්තාමි කුඩා කල සිටම චිත්‍ර ශිල්පයට දක්ෂතා දැක්වුවෙකි. දහ අට වියේ තරුණ ගැටයකුව සිටියදීම හොදම සිත්තරා ලෙස තරුණ සම්මානය දිනාගත් ඔහු ඉන් අනතුරුව ටෙහෙරාන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ ලලිත කලා උපාධිය ලබන්නටය.ඉන්දියාවේ මහා සිනමාකරු වු සත්‍යජිත් රායිට මෙන්ම කියරොස්තාමිටද සිදුවන්නේ වෙළද දැන්වීම් කලාවට පිවිසෙන්නටය. 1960 දී චිත්‍ර ශිල්පියෙකු ලෙස පෝස්ටර අදිමින් දැන්වීම් නිමවමින් සිටින ඔහු ඉනික්බිති ඉරාන රූපවාහිනිය වෙනුවෙන් වෙළද දැන්වීම් නිර්මාණය කරන්නට පටන් ගනීයි. පසුකලෙක හෙතෙම සිනමාවට පිවිසෙන්නේද චිත්‍ර ශිල්පියකු ලෙසිනි. ඒ චිත්‍රපටවල සිරස්තල ඇදීමේ කටයුත්තට එක් වෙමිනි.
1969 දී බිහිවන ඉරාන නව සිනමා රැල්ල තුලින් සිනමාවට අවතීර්ණ වන කියරොස්තාමිගේ කෝඩුකාර සිතුවම වන්නේ “ බ්රෙඩ් ඇන්ඩ් ඇලී - චිත්‍රපටයයි. පාසල් දරුවකු සහ සිය සුරතල් බල්ලා වටා ගෙතුනු මෙම චිත්‍රපටය මිනිත්තු 12 ක් පමණක්ම වීය. පසුකලෙක සිය කෝඩුකාර සිනමා ගමන ගැන ආවර්ජනයක යෙදුනු ඔහු මෙම චිත්‍රපටය ගැන සදහන් කලේ මෙසේයි .
බ්රෙඩ් ඇන්ඩ් ඇලී හදනකොට මම දුක් වින්දා. ඒ තමයි මගේ මුල්ම සිනමා අත්දැකීම. මං වැඩ කලේ ආධුනිකයන් එක්ක. අනික් අතින් මට අධ්‍යක්ෂණය කරන්න වුනේ බල්ලෙක්වයි.ළමයෙක්වයි.අත්දැකීම් තිබුනෙත් අපේ කැමරා ශිල්පියට විතරමයි. ඔහුත් නිතරම ආඩපාලි කියන කෙනෙක්. දැන් තමයි මට තේරෙන්නෙ ඔහු නිවැරදියි කියල. ඒකට හේතුව ඒ කාලෙදි මම සිනමාවේ සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමයි. මට ඒක තේරුම් ගන්න ලොකු කාලයක් ගියා .
කියරොස්තාමි ගේ සිනමා භාවිතය දෙස බැලීමේදි ඔහු බොහෝ විට සිය නිර්මාණයන්ට ළමුන් යොදා ගනු පෙනෙයි. 1973 දී කියරොස්තාමි විසින් නිර්මාණය කල “ ද ට්‍රැවලර් සිනමා කෘතියට පාදක වන්නේ ද ළමා පුවතකි. ඉරානයේ කුඩා ගමක වෙසෙක 12 හැවිරිදි දරුවකු පාපන්දු තරගයක් නැරඹීමට මුදල් නොමැතිකම නිසා විදින විවිධ දුක්ක දෝම නස්සයන් කියාපාන “ ද ට්‍රැවලර් 70 දශකයේ ඉරානයේ සමාජය පිලිබදව දැවැන්ත විවරණයක යෙදෙන සිනමා කෘතියකි.
එසේ වුවද කියරොස්තාමිගේ ප්‍රථම වෘතාන්ත සිනමා කෘතිය ලෙස පිළිගනු ලබන්නේ 1977 දී ඔහු විසින් නිර්මිත “රිපෝට් චිත්‍රපටයයි. රජයේ මුල්‍ය ආයතනයක බදු එකතු කරන්නකුට සිදුවන මුල්‍ය වංචාවන් නිසා බිද වැටෙන සිය ජීවිතය කියාපාන “රිපෝට් හද සසල කරවන චිත්‍රපටයක් ලෙස විචාරකයන් විසින් නමි කරනු ලැබිණ.
අබ්බාස් කියරොස්තාමි ජගත් සිනමාවේ සමිභාවනට පාත්‍ර වන්නේ 1980 දී ඔහු විසින් නිර්මානය කල “ වෙයා ඉස් මයි ෆ්රෙන්ඩ්ස් හෝම් චිත්‍රපටයෙනි. “ වෙයා ඉස් මයි ෆ්රෙන්ඩ්ස් හෝම් යනු සැබැවින්ම අපුරු සිනමා වියමනකි. වැඩිහිටි ලෝකයත් ළමා වියේ අහිංසකත්වයත් පෙර දැරි කරගත් මෙම සිතුවම ඉරාන ජන සමාජයෙන් නොනැවතී සකල ලෝකයටම ළමුන්ගේ සුවද විහිදුවමින් ගලන මහා සදුන් රුකක් වැන්න. හදිසි අමතක විමකින් තම පන්ති මිතුරාගේ පොතක් ලග තබාගත් අට හැවිරිදි දරැවකු වන අහමඩ් පාසලින් නික්ම දුවන්නේ එම පොත නැවත මිතුරාට භාර දෙන්නටයි. පොත භාර නුදුන් විට මිතුරාට පසු දින මුහුණ දීමට සිදුවන කරදරය දන්නා අහමඩ් චිත්‍රපටය පුරාම දුව පනිමින් සොයන්නේ තමා නොදන්නා මිතුරාගේ නිවසයි. ඉරානයේ සම්ප්‍රදායික ගැමි ජීවිතය දෙස සානුකම්පිතව බලන මෙම චිත්‍රපටය 1989 දී ලෝකාර්නෝ සිනමා උළෙලේ ප්‍රධාන සම්මානයටද පාත්‍ර විය. කියරොස්තාමි විසින් මෙම චිත්‍රපටය තුල තබා ඇති ඔහුගේ කවීත්වය සැබැවින්ම අපුර්වය.ළමා මනස සතු විවිධ ගුණාංගයන් සියුම් හුයකින් සිතුවම් කරමින් ඉරාන ගැමි සංස්කෘතියේ නේක රටාවන් අපට විදහා පෙන්වන “ වෙයා ඉස් මයි ෆ්රෙන්ඩ්ස් හෝම් ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍රවීම අරුමයන් නොවේ. එය එතරම්ව කාව්‍ය ගුණයෙන් පිරි අගනා සිතුවමකි.
ඉන් අනතුරුව කියරොස්තාමි අධ්‍යක්ෂණ්‍ය කලේ “ ඇන්ඩ් ලයිෆ් ගෝස් ඔන් චිත්‍රපටයයි. සිනමා අධ්‍යක්ෂකවරයකු සිය පුතණුවන්ද කැටුව “වෙයා ඉස් මයි ෆ්රෙන්ඩ්ස් හෝම් චිතුපටයට පාදක වු ඉසව්ව සොයා යන චාරිකාව කියාපාන මෙම සිතුවම පුරාම අප දකින්නේ ඉරානයේ සිදුවු භුමි කම්පාවෙන් පීඩාවට පත්වු සියල්ලයි. කියරොස්තාමි මූලික ලෙසින් චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කලේද ඉරානයේ 40 000ක් ජනතාව මරැමුවට පත් කරමින් සිදුවු මහා භුමිකමිපාව සිදුවු කෝකර් පෙදෙස පසුබිම් කරගනිමිනි.
ජීවිතයේ විවිධ හැල හැප්පිම් වලට ගොදුරු වන ගැමි සමාජය හා ළමා ලෝකය නිර්මාණය කරමින් සිටි අබ්බාස් කියරොස්තාමි ජගත් සිනමාවේ සම්භාවනාවට පාත්‍ර වන්නේ 1997 දී නිර්මාණය කල සිය අනගිභවනීය සිනා සිත්තම වන “ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටයෙනි.
“ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටයට පාදක වන්නේ මැදිවියේ ඉරාන මිනිසකු සිය දිවි හානි කරගැනීමට අන් අයගේ උපකාරය බලාපොරොත්තු වන ආකාරයයි. මැදිවියේ ඉරාන වැසියකු වන බඩී සිය දිවි නසා ගැනීමට තිරණය කර සිටියි. එහෙත් තමා මැරුණු පසුව තම සිරුර වල දැමීමට කෙනෙකු සොයා ගත යුතුව ඇත. ඒ සදහා ඉදිරිපත් වන්නේ නම් මිල මුදල් ගෙවීමට ඔහු සුදානමිව සිටියි . සිය පරමාර්ථයට සහාය දෙන කිසිවකු සොයමින් ඔහු තම රිය ධාවනය කරයි. එහිදි මුලින්ම ඔහුට තරුණ කර්ඩිෂ් යුධ භටයකු මුණ ගැසෙයි. එහෙත් ඔහු බඩීගේ බසට අවනත නොවෙයි. දෙවනුව බඩීට ඇෆ්ගන් ජාතිකයකු හමුවන අතර ඔහුද බඩීගේ මරණයට සහයෝගය නොදෙන්නේ සිය දිවි හානි කරගැනීම පිළිබදව ඇති ආගමික මතවාද නිසාය. අවසානයේදී බඩීට සිය මියයාමේ සිහිනය සැබෑ කර ගන්නට අසිරි නම් මිතුරකු හමුවන අතර ඔහු එයට කැමැත්ත පල කරන්නේ තම රෝගි පුතුට අවශ්‍ය පුතිකාර ලබාගත යුතු බැවිනි. එහෙත් අවසානයේදී මිතුරා පවසන්නේ තමාද පෙර කලක දිවි නසා ගන්නට ගොස් යළි සිහි එලවා ජීවිතය අල්ලා ගත් බවයි .
“ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටය යනු මෙතෙක් අබ්බාස් කියරොස්තාමි විසින් නිර්මාණය කරන ලද හොදම චිත්‍රපටය බව සිනමා විචාරකයින්ගේ මතයයි. මෙම චිත්‍රපටය 1997 දී ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ පැල් ම දෝ සම්මානය දිනාගත් අතර ඉන් අනතුරුව ලොව සිනමා වියතුන්ගේ දැඩි අවධානයටද බදුන් විය. 2012 වර්ෂයේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතනය හා සයිට් ඇන්ඩ් සවුන්ඩ්
එක්ව තෝරනු ලැබු ලොව මෙතෙක් නිර්මාණය වු හොදම චිත්‍රපට 10 සදහා “ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටය ද අඩංගු වීය.
අබ්බාස් කියරොස්තාමි යනු සිනමාකරුවකු පමණක්ම නොවේ. සකල කලා විධීන් ප්‍රගුණ කල මහා වනස්පතියෙකි. සිනමාකරුවකු තිර රචකයකු චිත්‍ර ශිල්පියකු කලා අධ්‍යක්ෂකවරයකු ජායාරූප ශිල්පියෙකු මෙන්ම කවියකු වු හෙතෙම කිසි දිනෙක සිය ජන්ම භුමිය අමතක කොට පියමං නොකල කලාකරුවකු වීය.
ඉරාන විප්ලවයත් සමග බොහෝ කලාකරුවන් සිය මව්බිම හැර දමා යන විට කියරොස්තාමි ඉරාන පොළොවේ මහා ගුණ සමුදාය අත්මිට මොළොවා ගත් අදියුරුන් වීය. වරක් ඔහු සිය සමස්ත සිනමා භාවිතයම එක් ප්‍රකාශයක් තුල කැටිකොට දැක්වුවේ මෙසේයි.
“ පොළොවේ මුල් ඇද ඇති ගසක් ඔබ විසින් උදුරා රැගෙන ගොස් වෙනත් පොළොවක සිටවු විට එහි තව දුරටත් ඵල හට නොගනී. අහම්බයකින් මෙන් ඵල හට ගත්තද ඒ ඵල පෙර පොළොවේ මෙන් මියුරු රස නොගනී . එය ස්වභාව ධර්මයේ රීතියයි. මා රටින් පිටව ගියේ නම් මට සිදුවන්නේද උදුරා පැල කල ගසට සිදුවූ ඉරණමයි .
භාවමය සත්තාවක් වු සිනමාව කල්පනා ලෝකයක් වුවද කියරොස්තාමිගේ චිත්‍රපට නරඹන විට කුමක්දෝ ආශ්චර්යයක් සිදුවන බවක් මට දැනෙයි . සංගීත ශිල්පියකුගේ අගනා ස්වර රටාවක් මෙන් මතුව එන ඔහුගේ සිනමා රූප කිසිදා නෙතගින් බැහැර නොවන්නකි. අබ්බාස් කියරොස්තාමිගේ සිනමාවේ නිර්මිත හැගුම් සමුදාය සදා අමතක නොවෙන අතර විටෙක මම එහි චරිතයන් හා ආත්මිකව බැදෙන්නෙමි . නෙතින් කිසිදා නුදුටු ඉරානයේ ගම්මානයක තනිවූ “ වෙයාර් ඉස් මයි ෆ්රෙන්ඩ්ස් හෝම් චිත්‍රපටයේ පුංචි අහමඩ්ට මෙන්ම ටේස්ට් ඔෆ් අ චෙරි චිත්‍රපටයේ වියපත් බඩීට ද මම ප්‍රේම කරමි. සිනමාව යනු රූප හරඹයක් නොව පොළොවේ පය ගසා නැගිටින්නට වෙර දරන පොළොව හා ගැටෙන මිනිසුන්ගේ සැබෑ ජීවිතය සිතුවම් කිරීම යැයි මම ඔබෙන් වටහා ගතිමි. ඉරාන සිනමාවේ මහා කිවිද..ඔබට මගේ ප්‍රණාම..
සුදත් දේවප්‍රිය
Labels:
Film
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment