Labels

Thursday, July 14, 2016



පැරිස් සිනමා විත්ති - ප්‍රංශුවා ටෘෆෝ සිනමාකරුවා


ප්‍රංසුවා ටාෆෝ යනු සැබැවින්ම ප්‍රංශ සිනමා නව රැල්ලේ නියමුවකු ලෙස හැදින්වීම අතිශෝක්තියක් නොවේ. . සිනමා විචාරකයකු තිර රචකයකු - නඵවකු - කිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂකවරයකුද වු ප්‍රන්සුවා ටෘ‍ෆෝ ළමා වියේ සිටම නේක දුක් දෝමනස්සසයන්ට බදුන් වූවෙකි . ටෘෆෝ යාන්තම් වයස අවුරැදු 14 වනවිටම පිච්චර් පිස්සකු බවට පත්විය. පෝලන්ත සිනමාකරුවකු වු රෝමන් පොලොන්ස්කි මෙන්ම අනාථ දරුවකු වු ටෘෆෝ සැබැවින්ම බාලාපරාධකරුවන්ගේ නිවස්නයක හැදී වැඩුනු අයෙකු විය. වර්ෂ 1932 දී පියකුගේ ජන්මය නොමැතිව අනාථ දරැවකු ලෙස ප්‍රංශයේ රෝහලක මෙලොව එළිය දුටු ටෘෆෝට පිය වාසගම දෙන්නේ ඔහුගේ මවගේ දෙවන සැමියා වූ රෝලන්ඩි ටෘෆෝය. එහෙත් ඉනික්බිති මව්පිය සෙනෙහස අයදින පුංචි ටෘෆෝට සිදුවන්නේ මහත් කරදර රැසකට මුහුණ දිමටය.

සිය මාපියන් විසින් අත් හරනු ලබන බිළිදකු වන ඔහුව වයස අවුරැදු 08 ක් යනතුරුම හදා වඩා ගන්නේ ප්‍රංසුවා ටෘෆෝගේ මිත්තණියක විසිනි . මිත්තණිය විසින් උනන්දු කරනු ලැබිමෙන් දිනපතා සංගිතය ඇසිමට හා පොත් කියවීමට පුරැදු වන ටෘෆෝට ඇයගේ අභාවයත් සමගම නැවත අපාගත වීමට සිදුවෙයි. සිය මවගේ නිවස ඔහුට සිරගෙයක් වන අතර ඒ නිසාම හෙතෙම දෛනික ජිවිතයේ වැඩි කාලයක් නිවසින් පිටවි ගත කරන්නට පුරැදු වෙයි. පැරිසියේ නව්රුන් වීදියේ පිහිටි අදුරැ තට්ටු නිවාසයක ගෙවි ගිය සිය ළමා කාලාය සැබැවින්ම දුක් කන්දරාවක් දරාගත් සමයක් වු බව ටෘෆෝ නිරතුරු සදහන් කරයි. . එකල ඔහුගේ හොදම සගයා වුවේ රොබට් ලැහානි නමි කොලු ගැටයෙකි. රොබට් සමග පාසල් නොගොස් කට්ටි පනිමින් හොරෙන් සිනමා පට නරඹමින් නවකතා සොරකම් කර කියවමින් ගෙවු අතිතය ටෘෆෝ සිය ජිවිත කථාවේ සදහන් කරයි .

ඇමරිකානු චිත්‍රපට හොරෙන් නැරඹ්ම නිසා හටගත් සිනමා උන්මාදය කොතෙක්ද යත් 1948 දී පැරිස් නුවර සිනමා සමිතියක් පිහිටුවා ගන්නට තරමටම ටෘෆෝ සමත් විය . ඉන් ලද පන්නරය මත මහා සිනමා ඇදුරකු වු අන්ද්‍රේ බැසාන් ඇසුරට පත්වන ප්‍රංශුවා ටෘෆෝ ඒ මතින් සිය සිනමා සිහිනය සදහා ඇවැසි ඥානය ලබා ගනී . .ඒ අනුව එතෙක් පැවති ප්‍රංශ සමිමත සිනමාවට අභියෝග එල්ල කරන හෙතෙම පසුව සිනමාවේ සිය මුල්ම පෙමි පවත රුපයෙන් ලියන්නේ “ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් “ තුලිනි. .

ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් යනු සැබැවින්ම ප්‍රංශයේ අදුරු වීදිවල දුක් විදිමින් සිටි සිය ආත්මයම බව ප්‍රංසුවා පවසා සිටී. චිත්‍රපටයේ අප දකින කතා නායක අන්තුවාන් අනෙකෙකු නොව අප කතානායකයා වන ප්‍රංසුවා ටෘෆෝමය. . අදුරු පැරිස් නුවර විදියක උදැසන බඩගිනි නිසාම කිරි බෝතලයක් සොරකම් කල කොලු පැංචා ඔහුමය. .කුසගින්නේ බඩ පොත්ත සිතල අදුරු මාවත් බිමට තුරුලු කර නොනිදා නිදා ගත් කොලු ගැටයා ඔහුමය. .ඒ ප්‍රන්සුවා ටෘෆෝමය.

ජීවිතයේ යම් දිනෙක පැරිස් නුවරට යාමේ ආසාවෙන් මා පෙලෙන්නට වුවේ ෆෝ හන්ඩ්‍රඩි බ්ලෝස් චිත්‍රපටයේ අන්තුවාගේ චරිතයට පෙමි බැදීමෙනි. මා මෙම චිත්‍රපටය මුලින්ම දකින විට විසි හැවිරිදි වියේ සිටියද මා අන්තුවාට මෙතරම් ප්‍රේම කලේ ඇයි ? මඩොල් දූව නවකතාව කියවු පසුව අප සිනමා මහා ඇදුරු වු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් ගේ මඩොල් දූව නැරඹීමෙන් පසු උපාලි ගිනිවැල්ලේ ජින්නා හා පැන ගිය දූව සොයා යන්නට අපට සිත්වීම ස්වභාවිකය. .

අප එකල කොග්ගල මළලගම මඩොල් දුව සොයා චාරිකා කලෙමු. එහෙත් ටෘෆෝගේ චිත්‍රපටයේ අන්තුවා‍ බඩගින්නෙන් දිව ගිය විදිය, කිරි බෝතලයක් සොරකම් කලා වූ වීදිය දැක ගන්නට මා පෙරුම් පිරුවේ ඇයි ? ඒ අන් කිසි කරුණක් නිසා නොව ටාෆෝ නැමැති සරල සුගම සිනමාකරැවා සිය සැබෑ ආත්මය අන්තුවා තුලින් අපට මුදා හල නිසා ය .

පසුකලක නොසිතු විරැ ලෙස පැරිස්නුවරට යාමට මටද හිමිකමක් ලැබුණි. . ඒ උඩුගංයාමය චිත්‍රපටයද 2007 කාන් සිනමා උළෙල් ශ්‍රී ලංකා දිනය සදහා තෝරා ගත් බැවිනි. . එහිදි ප්‍රසන්නගේ පුර හද කළුවර, ආචාර්ය ධර්මසේන පතිරාජාගේ පොන්මනී, හදගමගේ තනි තටුවෙන් පියාඹන්න- ඇතුලු තවත් චිත්‍රපට කිපයක් තිරගත විය. . මා පැරිසිය බලා පිටත්ව ගියේ අතේ හරි හමන් මුදලක් ද නොමැතිවය. .නොමිලයේ ලද ගුවන් ටිකටි පතක් රැගෙන ඩොලර් 20 ක් අතැතිව මා ගිය ඒ ගමනට ප්‍රසන්න විතානගේද එක්විය. . මා පැරිසියේ නිදා ගත්තේ ප්‍රසන්නගේ කුඩා කාමරයේය. ඒ දින කිපය ප්‍රසන්න මට සැබැවින්ම මහත් ධෛර්යයයක් විය. . ප්‍රංශයේ කාන් නුවර පැවැති කාන් සිනමා උළෙලට වටා ආස්වාදයක් මට ගෙන දුන්නේ අන්තුවාන් දිවගිය පැරිසියේ නවරැන් විදියයි. උදැසන වුවද හිමිදිරියේ වීදියේ බඩගින්නට කිසිවක් ලබා ගන්නට පෙලහර පාන කුඩා දරැවන් තුලින් මා දුටුවේ ටෘෆෝගේ චිත්‍රපටයේ අන්තුවාන්ගේ ශෝකාලාපයයි. . බඩගින්නට කිරි බෝතලයක් සොරගත් ටෘෆෝගේම ආත්මයයි .

අන්තුවාන් රැගත් “ෆෝ හන්ඩුඩ් බ්ලෝස් චිත්‍රපටය “ ප්‍රංශ නව රැල්ලේ ආරම්භය සිදුකල අතර එයට 1959 වර්ෂයේ කාන් සිනමා උලෙලේ හොදම අධ්‍යක්ෂකට හිමි සම්මානයද හිමිවිය.
ටාෆෝ යනු සැබැවින්ම සිය නිර්මාණයන් සදහා අවංකවම කටයුතු කල සැබෑ සිනමාවේදියෙකි. සිය ආත්මයට රිසි නොවු කිසිවක් සිය තිර රචනයේ දුටු විට එය නැවත විමසා ලිවීමට තරම් හෙතෙම කාරුණික වීය. . සිය දෙවන සිනමා කෘතිය වු “ෂුට් ද පියානෝ ප්ලේයර්ස්“ රුපගත කරන විට ඔහුට දැනුනේ තමා කල්ලි සටන්කරැවන්ට ප්‍රිය මනාප නොවන බවකි. එහෙත් අවාසනාවකට මෙන් ඔහුගේ නියමිත චිත්‍රපටයේ කල්ලි සටන් කරැවන් ප්‍රධාන චරිත බවට පත්ව තිබුනේ දෛවෝපගත ලෙසිනි. සිය ආත්මයට වද දුන් මේ සිදුවීම නිසා තැවුලට පත් ටෘෆෝ රුප ගත කිරීම් සිදුවන විටදිම කල්ලි සටන්කරැවන්ට කිසියම් උපහාසාත්මක වර්ණයක් දීමට උත්සුක විය. .එකි උත්සාහය සැබැවින්ම සාර්ථක වූ අතර එය සිනමා විචාරකයින්ගේ නොමද අවධානයටද යොමුවිය. .

වර්ෂ 1973 දි ටෘෆෝ “ ඩේ ෆෝ නයිට් නමින් චිත්‍රපටයක් නිර්මාණය කලේය . එහි කතා පුවත වන්නේද චිත්‍රපටයක් තුල චිත්‍රපටයක් තැනීමට පිරිසක් ගන්නා උත්සාහයයි . එහි චිත්‍රපට අදියුරුගේ චරිතය රගන්නේද ප්‍රන්සුවා ටෘෆෝමය . මෙම චිත්‍රපටයට පාදක වන්නේද බාලවියේදී නිරතුරැව ආදරය නොලැබූ දරැවකුගේ ශෝකාලාපයයි. එනම් ටෘෆෝගේම සැබෑ ජිවන අත්දැකීමයි . ඩේ ෆෝ නයිට් චිත්‍රපටය ට 1973 දී ඔස්කාර් සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානයද හිමිවිය .
1976 දී ටෘෆෝ නිර්මාණය කල ස්මෝල් චේන්ජ් ඉතා අගනා සිතුවමක් ලෙස සිනමා වියතුන් විසින් සලකනු ලැබු බව පෙනේ . ප්‍රංසයේ පාසලක ඉගෙනුම ලබන ලමුන්ගේ විවිධ සිතුම් පැතුම් - ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ චර්යාවන් කියාපාන ස්මොල් චේන්ජ්ස් චිත්‍රපටය සාම්ප්‍රදායික වැඩිහිටි සාරධර්ම නිසා පීඩාවට පත්වු ළමා ලපටියන්ගේ කතාන්දරයයි . ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර ව්‍ර මෙම චිත්‍රපටය 26 වන බර්ලින් චිත්‍රපට උලෙලේද තිරගත විය .

ඉන් අනතුරුව ප්‍රන්සුවා ටෘෆෝ නිර්මාණය කල “ ලාස්ට් මෙට්රෝ සිනමා කෘතිය ප්‍රෙක්ෂකයින් ඇද බැද ගත් චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන්ම සදහන් කල හැකිය. . දෙවන ලෝක යුධ සමයේදී ප්‍රංශයේ ජිවත් වු නාට්‍ය අධ්‍යක්ෂක වරයකු වන ලූකස් ස්ටේනර් සහ ඔහුගේ බිරිද එකල පැවති නාසි හමුදා පාලනය තුල මුහුණ දෙන නේක දුක්ක දෝම නස්සයන් කියාපාන මෙම චිත්‍රපටය සිනමාවට ඇලුමි කරන නව පරපුර විසින් නොවරදවාම නැරඹිය යුතු කෘතියකි . චිත්‍රපටයේ නිරුපිත වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයා සිය නවතම නාට්‍යය ජනතාවට පෙන්විමට අවසාන පෙරහුරැ සකස් කරමින් සිටියි . එහෙත් ඔහුට සිය සිහිනය වන වේදිකා නිෂ්පාදනය දැසින් බලා ගන්නට නිදහසක් නොමැත . නාසි හමුදාවන් නාට්‍යාගාරය වටලා ඇති අතර ඔහුව සොයමින් සිටියි. . නාට්‍ය දර්ශනය ආරමිභ වන අතර නලු නිළියන් රංගනයේ යෙදෙති .

අධක්ෂකවරයා නාටකයේ වේදිකාව යට සැගවී සිටිමින් නාට්‍යෙය් ආස්වාදය විද දරා ගන්නේ පාත්‍ර වර්ගයාගේ වදන් හා සුසුම් හඩවල ආධාරයෙනි. . ඔහු එහිදී ජීවිතයත් මරණයත් අතර සිටින අවිහිංසකයකු ලෙස අපට දැනෙයි. . තම මංගල නිර්මාණය දිග හැරෙන වේදිකා මණ්ඩපයේ සිටියද එය සිය දැසින් නැරඹීමට හැකියාවක් නොමැති නිර්මාණ කරුවකු ගැන තවත් නමි කුමන කතාවන්ද ?ලාස්ටි මෙට්රෝ නමි සැබැවින්ම හද සසල කරවන සිනමා සිත්තමකි .

ටාෆෝගේ අවසන් චිත්‍රපටය වුවේ “කොන්ෆිඩෙන්ටලි යුවර්ස් ; චිත්‍රපටයයි . සුදු සහ කළු සිනමා කාතියක් වූ එය ලොක පූජිත සිනමාකරැවකු වු ටාෆෝ සිත්ගත්ම සිනමාකරැ වූ ඇල්ප්‍රඩි හිචිකොක්ට උත්තමාචාර පිණිස නිර්මාණය කල සිතුවමකි. .ප්‍රන්සුවා ටෘෆෝ කොතෙක් හිච්කොක්ට ඇලුම් කලේද යත් හිච්කොක් ගැන ලොව හොදම සිනමා සටහන ලියා ඇත්තේද ටෘෆෝය . එහිදි ඔහු සිය ග්‍රන්ථයේ සදහන් කරන කියමන් මගේ මතකයට නැගෙයි .
හිච්කොක් නරඹන්නන් බැද තබා ගන්නේ ඔහු ශුර ලෙස සිනමා ශිල්පය භාවිතා කරන නිසා නොවේ . සිය වෘතාන්තය ගලායාමේදී ඔහු දක්වන කතාන්දර කිමේ හැකියාව නිසාය .එය කොතෙක්දැයි කිවහොත් ප්‍රංශ තරුණයාට තම සමීප අසුනේ සිටින හිතවතිය අමතක වෙයි -.

ප්‍රන්සුවා ටෘෆෝ යනු සැබැවින්ම සාහිත්‍යයට තදින් ඇලුම් කල නිර්මාණවේදියෙකි . එය ඔහුගේ බාලවියේ සිටම පැවැති බව ටෘෆෝම පවසයි . තමාගේ එකම අරමුණ වුවේ ලමා වියේදී දිනකට චිත්‍රපට තුනක් නැරඹීමත් එමෙන්ම නවකතා පොත් තුනක් කියවීමත් බව ඔහුගේ පොතක සදහන්ය . ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අන්තුවාන්ද ප්‍රංශ ලේඛකයකුගේ පිළිමයක් ඉදිරියේ පහණක් තබනු මට මතකය . ටාෆෝ එසේ අන්තුවාන් හරහා ප්‍රංශ ලේඛක පිලිරුවට ගෞරව කරන්නේ සාහිත්‍යයට ඇති ආදරය නිසා යැයි මම සිතමි .
රංග ශිල්පියකු ලෙසද කටයුතු කල ප්‍රන්සුවා ටාෆෝ සටීවන් ස්පීල්බර්ග් නිර්මාණය කල “ ක්ලොස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩි කයින්ඩි ,“ චිත්‍රපටයේ මහාචාර්යවරයකු ලෙස ද රගපෑවේය . ටෘෆෝ සැබැවින්ම මානව හිතවාදී මිනිසෙකු විය . වරක් එක්තරා දවසක ටෘෆෝ හමුවීමට එක්තරා තරැණයකු පැමිණියේය .
සර් . මං මගේ චිත්‍රපටය රූපගත කරන්නට ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් හැදුවා . ඒක හොදද කියල කියන්න .
ටෘෆෝගේ පිළිතුර මෙසේ විය . පුතා . මට මේ ගැන යමක් කියන්නට බැහැ. එය යුක්ති සහගතත් නැහැ .
ඔබගේ චිත්‍රපටයේ වැඩ අවසන් කල පසුව මටත් කියන්න . මා නරඹා එය ගැන මට හිතෙන දේ කියන්නම් ,

මෙහි අදහස කුමක්ද ? ටෘෆෝ යනු කාර්මික තිර රචනය පසෙක තබා සිනමාව යනු ලොව මිනිසුන්ගේ මුහුණු තුල මැවෙන නාටකීය බව නළු නිළියන්ට නොරිදවා කැමරාවෙන් සියුම්ව හසුකර ගැනිම යැයි විශ්වාස කරන නිර්මාණකරුවෙක් විම යැයි මට සිතේ . එය එක්තරා අතකින් ඇත්තය. ටෘෆෝ නිතරම පැවසුවේ මගේ රුප රාමුව නිතරම සැකසෙන්නේ පසුතල ඉසවිවකදී මගේ නළු නිළියන් පුහුණු වීම් කරන අවසාන මොහොතෙන් පසුව බවයි .

1983 මේ මහා සිනමාකරුවා හදිසියේ රෝගාතුර වු අතර එයට හේතු වුවේ මොලයේ හටගත් ගෙඩියක ආසාදනයයි . වසරක් පුරා රෝගීව සිටියද සිය සිනමා ආත්මයට පණ දුන් මේ මානව හිතවාදී සිනමාකරුවා ඉන් වසරකට පසුව 1984 ඔක්තෝම්බර් 21 වැනි දින හදිසියේ සිය ජිවිතයෙන් සමුගත්තේ දහසක් සිනමා ප්‍රේක්ෂකයින් සෝ සයුරේ ගිල්වමිනි . මිය යන මොහොත වන විට ටෘෆෝ නියමිතව සිටියේ සිය සමීප හිතවතකු වු මයිලස් ෆෝමාන්ගේ ඇමඩියස් චිත්‍රපටය නැරඹීමට සුදානමි වෙමිනි .

ටෘෆෝ සිය ජීවිත කාලයෙන් ඉල්ලා සිටියේ මිය යාමට පෙර චිත්‍රපට 30 ක් නිර්මාණය කරන්නට ය . එහෙත් සියල්ල එයට හරස් වීය . පැරිසියේ නවරැන් වීදිය දිගේ බඩගින්නට කිරි බෝතලයක් සොරකම් කල සැබෑ අන්තුවාන් නොඑන ගමනක් ගොස් තිබුණි .

මට යළිත් පෙර දිනෙක පැරිසියේ මාවතක බඩගින්නට යමක් ඉල්ලමින් සිටි අපේ කාලයේ අන්තුවාන්ලා මතක් වෙයි . ඔවුන්ගේ මුහුණු තුලින් මා එදා දුටුවේ මහා සිනමාකරු ප්‍රන්සුවා ටෘෆෝගේ මුහුණයි. . බඩගින්නට කිරි බෝතලයක් හොරකම් කල ප්‍රන්සුවාගේ මුහුණයි . ඒ මුහුන සැබැවින්ම පින්බරය . නොකිළිටිය . අමතක නොවන සුළුය . පෙරදිග ලෝකයේ කුඩා දිවයිනක සිනමාවට පෙම් බදින මා වැනි කුඩා එකෙකු යුරෝපිය සංස්කාතියකට හැඩ ගැසුණු සිනමාචේදියකුට මෙතරම් සමිප වුවේ ඇයි ? ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රන්සුවා ටෘෆෝ සිය නිර්මාණ තුලින් ලොව පොළෝ තලයේ නේක දුක් විදින මිනිස් වර්ගයා ගැන අපරිමත දයාවෙන් බැලූ නිසා යැයි මට සිතෙයි .


සුදත් දේවප්‍රිය

1 comment:

  1. ස්තුතියි! අගෙයි මේ සටහන!

    ReplyDelete