Labels

Friday, September 30, 2016



හද සසල කල යොවුන්වියේ තාරුණ්‍යය-මෝටර් බයිසිකල්


ශ්‍රී ලාංකේය සිනමාවේ කොතෙක් ඉව අල්ලා බැලුවද තාරුණ්‍යයේ සැබෑ යථාර්ථය පිළිබදව කතා කරන චිත්‍රපටයක් අපට රස විදින්නට ලැබෙන්නේ කලාතුරකිනි. තාරුණ්‍යයේ හැඩය සහ වර්ණය කියාපාන යථාර්ථවාදී චිත්‍රපට පිළිබදව අපේ මතකය තවමත් දිව යන්නේ මෙරට සිනමාවේ 70 දශකය වෙතටය. එහි කුට ප්‍රාප්තිය ලෙසින් අප දුටුවේ ආචාර්ය ධර්මසේන පතිරාජාගේ අහස් ගව්ව චිත්‍රපටයයි. අහස් ගව්ව යනු අපට එකල තරැණ අර්බුදය පිළිබදව සැබැවින්ම කතා බහ කල සිනමා පටය වීය. එකල පාසල් වියේ පසුවු අප අහස් ගවිව බලා සිනමා ශාලාවෙන් පිටවූවේ කුමක්ද මේ ආශ්වර්යය යයි සිතමිනි. විරැකියාව- අනාදරය- සිහින පුපුරායාම- පාර දිගේ දිවෙන ජීවිතය පිළිබදව මුල් පොත අප එකල සිනමාවෙන් උගෙන ගත්තේද අහස් ගව්වෙනි.

70 දශකයේදී තරුණ ප්‍රශ්න ගැන කතා කල පතිරාජයන් වැනි සිනමා කරැවන් සිටියද ඉන් අනතුරුව මෙරට තරැණ ගැටළු පිළිබදව සිනමා ඇත්තන් කටයුතු කලේ කලාතුරකිනි. පතිරාජයන්ගේ අහස් ගවිවෙන් අප දුටු මෙම නිමිත්ත ඉන්පසුව ධර්සිරි බන්ඩාරනායකගේ හංස විලක්- පරාක්‍රම සිල්වාගේ බිත්ති හතර ආදී නිර්මාණ වලින්ද බුධි කීර්තිසේනගේ මිල්ල සොයා තුලින්ද විවිධ පැතිකඩයන් ඔස්සේ අප රස වින්දෙමු. .ඉන් පසුව මෙරට සිංහල සිනමාවේ විවිධ සංස්කෘතින් විදහාපාමින් නේක නිර්මාණයන් බිහිවුවද නගර ලුම්පන් සංස්කෘතිය ගැන කතා බහක යෙදෙන සිනමාවක් අපට හමුවූවේ නැති තරමිය.

ශමීර රංගන නාඔටුන්න තරුණ සිනමාකරුවාගේ - මෝටර් බයිසිකල් චිත්‍රපටය බිහිවන්නේ මෙවැනි සිනමා රික්තකයක් තුලය. තරුණවියේ ආදරය – විරැකියාව-අපේක්ෂා භංගත්වය-ලිංගිකත්වය- භීෂණය සමග බැදී පවතින තාරැණ්‍යය මේ වනවිටත් වර්තමාන සමාජ රටාව තුල මහත් අර්බූදයක් බවට පත්වෙමින් තිබේ. එවැනි කටුක ඝොර වටපිටාවක් ගැන කතා කිරීමට සිනමාකරැවන් බොහෝවිට උනන්දු වන්නේද නැත. මිල මුදල මත ලංසුව තබන මෙවන් වසල ක්‍රමයක බොහෝ සිනමාකරැවන්ටද මෙවන් ප්‍රශ්තුථ දිරවාගැනීම පහසු නොවන්නකි.
එහෙත් සමීර නාඔටුන්න සිනමාවේ මෙතෙක් පැවති වසා දැමුනු කාමරයක් නැවත අප වෙනුවෙන් විවෘත කර ඇත.අප යළිත් නගරබද තරුණයාව එම කාමරයේ දොරකඩින් දකින්නෙමු.

මෝටර් බයිසිකල්හි රංග යනු මෙරට නගරබද ජීවත්වන ලුම්පන් තරුණයායි. රංග සංගීතකරැවෙකි. එහෙත් ඔහුට අක්මුල් නැත. සිය ජීවිතයේ අනාගතය කුමක්දැයි ඔහු නොදනී. එහෙත් අද දවස වෙනුවෙන් ඔහු ජීවත් විය යුතුය.ආදරය කල යුතුය. ආදරය ලැබිය යුතුය. ජීවත්විය යුතුය. හුස්ම ගත යුතුය.එහෙත් ඒ නිදහස ඔහුට වත්මන් සමාජ රටාව විසින් අහිමි කර ඇත. එය සැබැවින්ම දේශපාලනිකය. සිය මිතුරන් කීප දෙනෙකු සමග තුන්වන පන්තියේ සංගීත කන්ඩායමක් පවත්වාගෙන යන රංගන රාත්‍රි සමාජ ශාලාවලට සංගීතය සපයා කිසිවක් සොයා ගනී.ටානියා රංගගේ පෙම්වතියයි.ඇයටද මේ සියල්ල පොදු කාරණා බව පෙනේ.ඇය ආදරයට ප්‍රිය මනාපය.එහෙත් ඇය තුලද ජීවිතය ගැන මතු සපිරි ප්‍රාර්ථනාවන් නොමැත. තවමත් පාසල් අධ්‍යාපනය හමාර කලා පමණි.රංගගේ වත්මන් බලාපොරොත්තුව මෝටර් බයිසිකලයක් ගැනීමයි. ඒ වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කිරීමට ඔහු සුදානම්ය. ඒ සදහා තම මවගේ රන් මාලය ඉල්ලා දොස් තබන රංග අනතුරුව එය ටවුමේ උකස් කඩේට විකුණා සිය සිහින දඩු මොණරය ලබා ගනී. ටානියාවද නංවාගෙන නගරය පුරා චාරිකාවක යෙදෙන ඔහු සිය වටපිටාවෙන් ඉල්ලා සිටින්නේ ඔවුනට නිදහසේ ජීවත් වන්නට ඉඩ දෙන්න කියායි. අවසානයේදී මෝටර් බයිසිකලයද ඔහුගෙන් පැහැර ගැනේ. ටානියා ද රංගගෙන් මිදී පළා යන අතර එකම දින රංගට තම ජීවිතයද භීෂණ වටපිටාව තුල අහිමි වෙයි.

මෙම ජීවිත නාටකය ඇසුරින් ශමීර නාඔටුන්න විසින් අප කැදවාගෙන යන රූප චාරිකාව සුළුපටු වුවක් නොම වෙයි.තරැණියකටත් තරුණයකුටත් සිය සිත් සේ ආදරය කරන්නට නොලැබීම යන සංකල්පය විචාරක්ෂීව බලන්නෙකුට නම් සරල පට්ට ගැසූ සංකල්පයක් විය හැකිය. එහෙත් තරැණ සිනමාකරු මෙම සරල සුගම තේමාව ඇසුරින් අප ඉදිරියේ මවන සමාජ පසුතල රූප සමුදාය සැබැවින්ම අයස්කාන්ත වූවකි. ඔහුගේ අංකුර සිනමා ප්‍රතිභාවයට හසුවන මෙම සරල පුවත විවිධාකාර වු චෛතසිකයන් අප තුල ගම්‍ය කරවමින් සමාජය දෙස නව මානයකින් බලන්නට සිනමාකරු පොහොසත් වෙයි.

චිත්‍රපටය ආරම්භ වන්නේ කොළඹ නගරයට නව දවසක් උදා වෙන බව පසක් කරමිනි. නගරයේ ඉහල දැක්මෙන් පෙනෙන ගොඩනැගිලි- වැඩට යන ජනතාව- සිගමන් යදින්නන්- කිසිවක් විකුණාගැනීමට වෙහෙසෙන පදික වෙළදුන්- තැබෑරුම් වල සෙනග - එහි ගී කියන ලුම්පන් තරුණ පෙළ -දක්වමින් දිවෙන කැමරාව අපට සිහිකරන්නේ තුන්වන ලෝකයේ වීදි තරැණයාගේ ශෝකාලාපයේ පැතිකඩකි. වීදි තරුණයකු වන රංගනට එදාවේල පිරිමසා ගන්නටවත් වත්කමක් නොමැත. තැබෑරුම් සමාජ ශාලාවේ ගී ගයන ඔහු රාත්‍රි නිවස බලා ගමන් කරන්නේද පයින්මය. හදිසියේ අවටින් ඇසෙන භීෂණය- වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා- මිනී මරු වෑන්රිය දකින ඔහු අනතුරැව දිව ගොස් ත්‍රීවීලයකට පනින්නේද රිසි මුදල් නොමැතිවය. අවසානයේ මුදල් ගෙවන්නට කිසිවක් තිබුනද ඔහුට ඒ මුදල තවබොහෝ දේ වෙනුවෙන් අවශ්‍යව ඇත. ඒ නිසාම ඔහු මුදල් නොගෙවා පලා යයි. සිය පෙම්වතිය වන ටානියා සමග ආදරයක් පටන් ගත්තද එයද ඉහවහා ගිය මානව ප්‍රේමයක් ලෙස විද්‍යාමාන නොවේ. . සිය ආදරවන්ත අනෙකාගේ ජිවිතය බෙදා හදා ගැනීමට එකිනෙකා අගය කිරීමි මෙහි දක්නට නොමැත- රංග සිය මෝටර් බයිසිකලට මිලට ගෙන ටානියාට එය පෙන්වන විට ඇය පෙරළා අසන්න මේක බයිසිකලයක්ද කබල් එකක්නෙ යනුවෙනි.පරම පිවිතුරු ප්‍රේමයක් මෙන් අනාගතයේ කසාද බැදීමේ සංකල්පයන් ඔවුන් තුල නිවැරදිව විද්‍යාමාන නොවෙයි. එකිනෙකා අතර පවතින ආදරයද විටෙක රංගනත් ටානියාත් ක්‍රියා කරන්නේද එවැනි අස්ථිර පෙම්වතුන් ලෙසින්ය. ඒ සියලු අස්ථිරභාවයන්ට හේතුව ඔවුන් ජීවත්වන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතියයි.

යොවුන් වියේ ආදරය කරන්නට මෙම ලුම්පන් තරැණ පෙළට කිසිදු ස්ථානයක් නොමැත. සිනමා ශාලාවේ සිටින්නේද පෙම්වතියගේ ඥාති සහෝදරියයි. විහාර මහා දේවි උද්‍යානයේ තව දුරටත් ආදරය බෙදා හදා ගැනීමට ආලකමන්දාවක් නොමැත- අළුතින් ඉදිකල තණතීරැ- වාඩිවීමට සාදන ලද බංකු - විසල් තුරු ලතා අසල සැගව ආදර සිප ගැනීමකටවත් තව නම් නිදහසක් නොමැත. ආරක්ෂක භටයින් හැංගි මුත්තම් සෙල්ලම් කරන අතරම මෙගෆෝන් යොදා තාරුණ්‍යයට රිසි සේ පහර දෙනු පෙනෙයි. අවසානයේ අපේ කතා නායක නායිකාවට සිදුවන්නේ සිය අතැති සියල්ල යොදා ආදරය කරන්නට කාමරයක් කුලියට ගැනීමටය. ඒ සදහා ටානියා සිය ටියුෂන් ෆීස්ද ලබා දෙයි. හතර වටින්ම ලෝකයාගෙන් සැගවිය හැකි කාමරයක් ගත්තද ඔවුනට එහිද ආදරය කිරීමට බොහෝ බාධා පැමිණෙයි. වසල වෙලද කුලයෙන් උපන් කුඩා තානායම්කරැවා පවා බලන්නේ ෂයිලොක්ගේ මස් රාත්තල කෙසේ හෝ තරැණයාගෙන් ලබා ගන්නටයි. හෝටල් කාමරයේ තනිවන රංග ටානියා සිප ගැනීමකට සැරසෙන විටදී විටින් විට දොරට තඩි බාමින් හෝටලයේ සබ්බ සකලමනාවම විකුණන්නට ලංසු තබන සේවකයින් අප දකිමු. මේ සියල්ල සැබැවින්ම තාර්කිකය. යථාර්ථවාදීය. එය මෙරට පවතින සැබෑ විපරීත යථාර්ථයයි.

තුන්වන ලෝකයේ රටක් ලෙස වඩා වැඩි අවශ්‍යතාවයන් වෙනුවෙන් නිර්මාණකරැවා පෙල ගැසිය යුතු බව බොහෝ විචාරකයින් පවසති. එයට හේතු වන්නේ තවමත් එවැනි රටවල් අඩු වැඩි වශයෙන් විවිධ වකවානුවලදි අධිරාජයවාදින් විසින් මෙන්ම එරට පාලකයින් විසින්ද පීඩාවට පත්කර තිබීමයි. එය අප රටටද පොදු සත්‍යයකි.පිඩකයා සහ පීඩිතයා අතර තවමත් දේශපාලනිකව ඝට්ටන පවතින අතර සකල සමාජ ක්‍රමයම මෙම බලත් දේශපාලන හස්ත මත ක්‍රියා කරනු ලබයි. අප රටේ සංස්කාතික විපර්යාසයන් මෙතෙක් සිදුවුවේද එලෙසින්ය. එනිසා තුන්වන ලෝකයේ සිටින නිර්මාණකරැවකුට ඇති කාර්යභාරය සුළු පටු වුවක් නොවේ. හුදු ඓතිහාසික රජ කථා ඉක්මවන යුගයේ අවශ්‍යතාවයට අනුකුල වූ සිනමාවක අවශ්‍යතාවය පෙරටත් වඩා දැන් දැඩි වෙමින් පවතියි. ඒ සදහා දෘෂ්ටිමය වශයෙන් ස්වකීය නිර්මාණ චින්තනය විදහා දැක්වීමට නිර්මාණකරැවකුට පහසු කාර්යයක් නොමවෙයි. ශමීර රංගන නාඔටුන්නගේ සිනමා දෘෂ්ටිය සැබැවින්ම වත්මන් දේශපාලන රටාව අවබෝධ කරගන්නට අපට දොර කවුළුවක් විවෘත කර දෙයි. ඒ අතින් ශමීරගේ දෘෂ්ටිය ඉදිරියෙන් සිටියි. හුදු පුද්ගලික චරිතවල චෛතසිකයන් කරා සිය චරිත මෙහෙයවීමක් නොකරන මෙම සිනමාකරැවා අප ඉදිරියේ ඇති සමාජ යථාර්ථය මත සිය චරිත ගොඩ නංවාගෙන සිටී.

මෝටර් බයිසිකල් සිනමා පටය තුල සමාජ ආර්ථික සංස්කෘතික පසුතලය විමසන විට නගරයේ පහල පාන්තික ජන සමාජය ඒ සදහා උපයෝගී කරගෙන ඇත. කතා නායකයා වන රංගන වෙසෙන ඉසව්වද මුඩුක්කු සහ තට්ටු නිවාස වලින් පිරී පවතී. එහි වෙසෙන චරිතයෝද නේක දුක්ඛ දෝමනස්සයන්ට හසුව සිටිති. දරිද්‍රතාවය කොතෙක්දැයි කිවහොත් වැලේ දමා ඇති කලිසම මොහොතකින් අතුරුදහන් වෙයි. අවම ලංසුවට දෙනෝ දාහක් ඉදිරියේ මිනිසුන් මරා දමනු ලබයි. රාත්‍රියද දවාලද මිනී මරන්නන්ට එකසේය. එකිනෙකා ගැන සිතා බලන්නට නොව තමා ගැනවත් සිතන්නට මේ කොදෙව්වේ වෙසෙන නිවැසියන්ට ඉඩක් නැත. තමන් වැටී ඇති නරකාදියෙන් ගැලවීමට ඔවුන්ට මගක්ද ඔවුන්වත් නොදනී. එහෙත් ඔවුන්ගේ තරුණ සිහින මෝදු වී පුපුරා හැලෙයි. දිළිදු සිය මවගේ මාලය උකස් කර සිය සිහින සැබෑ කර ගැනීම කොතෙක් යුක්ති සහගත දැයි අප කතා නායකයාටවත් වැටහෙන්නේ නැත. ඒ තරමටම ඔවුන්ගේ ජීවන ගමන් මග සමාජ ප්‍රපංචයන් විසින් සිරකර දමා ඇත. එය පවතින සමාජ යථාර්ථයයි. එනම් නිෂ්පාදන බලවේග සහ දේශපාලනය මත පැන නගින සංකීර්ණ අර්බුදයේ සමාජ ක්‍රියාදාමයයි.

මෙහි රංගන යනු සැබැවින් පාලකයා විසින් හෙම්බත් කරන ලද මෙරට වත්මන් තාරැණ්‍යයයි. එමෙන්ම මෙහි චරිත වන රංගන- මව- ටානියා- කුලී මිනී මරන්නා- බයිසිකල් තැරැව්කරැ යන සියල්ලෝම සෙස සමාජ ක්‍රමය තුල බිහිවුවන්ය. එම චරිත ක්‍රියා කරන්නේද සමාජය හා අන්තර් සම්බන්ධතාවයන් මතිනි. ඔවුහු ඕපපාතිකව බිහිවුවන් නොවෙති. විෂම සමාජ සන්දර්භයක් තුල තාරැණ්‍යෙය් මළගම කියාපාන මෝටර් බයිසිකල් චිත්‍රපටය තුලින් අපට පසක් කරන්නේ යොවුන් වියේ නව දේශපාලන සිනමාවක් යළි හිස ඔසවන නිමිත්තකි.



මේ නයින් බලන විට සිය මංගල සිනමා වියමනේදීම මෙවැනි දේශපාලනික තේමාවක් තෝරා ගැනීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය සැබැවින්ම සිනමාකරැට හිමිවිය යුතුය.මෙවන් කතා සංකල්පයක් ගැන හිතන්නට පවා හැකිවන්නේ මෙරට නාගරික ලුම්පන් සංස්කෘතිය ගැන හසල දැනීමක් ඇත්තකුටම පමණි. හුදු රජකතා-සුරංගනා ළමා කථා- පමණක් වත්මන් සිනමාවට ගෝචර යයි සිතන - බලෙන් ඔබ්බවනු ලැබූ ප්‍රේක්ෂක රැචිය බැහැර කරන්නට සමීර විසින් නැවතත් මෙරට සිනමාවට මුල් පොත ප්‍රදානය කර ඇත.

මෝටර් බයිසිකල් චිත්‍රපටයේ දක්නට ඇති හද සසල කරවන අවස්ථා බොහෝය. ඉන් එක් ජවනිකාවක් ලෙස මගේ මතකයට නැගෙන්නේ වීදි තරැණයා සිය පෙම්වතිය සමග ප්‍රේම චාරිකාව අවසන් කර න්නට සිදුවීමෙන් හටගත් ලතැවිල්ලෙන්ම මහවැසි මැද සුපිරි ඇදුම් ප්‍රදර්ශණාගාරයකට ඇතුලුව කරනු ලබන ක්‍රියාදාමයයි..
ප්‍රේමයේ ආස්වාදයද නොලැබ තනිවන මෙම පෙම්වතුන් යුවළ වෙළද සංකිර්ණයේ ඇදුම් අතර මොහොතක් තනිවෙති. අනතුරැව ටානියා විවිධ වර්ගයේ ඇදුම් පැළදගෙන සිය පෙම්වතා ඉදිරියේ මනහර රැගුම් පායි. අවිහිංසක ළදැරියක සේ සිනාසෙයි. ඔහුද ඇගේ ක්‍රියාවෙන් උත්තේජනය වී සිනා ලෝකයක් මවයි. එහෙත් මෙම එකම වස්ත්‍රයක්වත් මිලට ගැනීමට ඔවුන් අතේ එක පිච්චියක්වත් නැත. එනමුදු ආදරවන්තයෝ සිනාසෙති. ඔවුන්ගේ සිනාහඩ යටින් ඇසෙන ශෝකීරාවය බුද්ධිමත් ප්‍රේක්ෂකයකුට සදා අමතක නොවනු ඇත.

සිනමා පටයේ තවත් හද සසල වන මොහොතක් වන්නේ ආදරවන්තයින් ආදරය විදින්නට සියලු වැර වීරිය යොදා එය අසාර්ථක වු විට හෝටල් කාමරයේ තනිවන අවස්ථාවයි. මෙතෙක් සිය ලිංගික සංතර්පණය සදහා වෙහෙසුනු වීදි පෙම්වතා සිය සොදුරියගේ නළලත සිප අපි යමු යැයි පවසන අවස්ථාව අතිශයින් හැගුම්බරවූවකි..

තරැණ සිනමාකරැ ශමිර රංගන නාඔටුන්න සිය සිනමා වියමනේදී ස්වකීය හෘද සාක්ෂියයේ දෝංකාරය බෙදා හදා ගන්නට සංගීතය යොදා ඇති ආකාරයද සැබැවින්ම පැසසිය යුතුය. තමා විසින් තෝරා බේරා ගත් විපරීත පසුතලයේ පවතින ඝොර බීරැම් ච්‍යෛතසිකය හා පැහෙන ලෙස අජිත් කුමාරිසිරි නම් නිර්මාණකරැවාගෙන් විස්මිත සංගිත සම්මාදමක් ලබා ගන්නට සිනමා කරැ සමත්ය. - අම්මගෙ මාලේ ටවුමෙ උකස් කඩේ- හීන අරන් එන්න- මං නයි නටවන පවුලක ඉපදුනා නම්- යන ගීත වත්මන් තරැණ පෙල අතර මහත් ජනප්‍රිය වනු ඇතැයි මමසිතමි.

සංදර්භය අතින් බලන කල මෝටර් බයිසිකල් යනු සැබැවින්ම සැබැවින්ම උසස් නිර්මාණයකි.එහි විශීෂ්ඨත්වය රදා පවතින්නේ රූපයටත් වඩා චිත්‍රපටය තුලින් සිනමාකරැවා අපව කැදවාගෙන යන සමාජ දේශපාලනික යථාර්ථය තුලය. මෙම වීදි තරැණයා කවුද? ඔහු මුහුණ දෙන මෙම ඛේදවාචකයට හේතුව කුමක්ද? ඔහුත් ඔහුගේ පෙම්වතියටත් පොදු වු අර්බුදයන් කුමක්ද? ඒවා ජය ගැනීමට අප විසින් කල යුතු ක්‍රම වේදය මෙය වන්නේය යයි නොකියන අප සිනමාකරු රංගගේ ජිවිතයේ එක් දවසක් තුලින් අපට ලෝකය දෙස බොහෝ සෙයින් විමසිලිමත් වන්නට කවුළු දොරක් හැර දෙයි. එය සැබැවින්ම අභියෝගාත්මක පියවරකි. වරක් ඉන්දීය මහා සිනමාකරැවකු වන මිර්නාල් සෙන් සිය සම්මුඛ සාකචිජාවකදී කියා සිටියේ තුන්වන ලෝකයට අයත් සිනමාකරුවකුගේ කාර්ය භාරය විය යුත්තේ සිය රට තුල පවතින සමාජ යථාර්ථය කැඩපතක් සේ පිළිබිඹු කල යුතු බවකි. ශමීර රංගන නාඔටුන්නට එම පරිචය ඇති බව මෝටර් බයිසිකල් සිනමා කෘතිය අපට පසක් කරයි.


සුදත් දේවප්‍රිය














No comments:

Post a Comment