Labels

Wednesday, November 23, 2016

ඉංග්මාර් බර්ග්මාන් සිනමාකරුවා




සිනමාව යනු ඉන්ද්‍රජාලක ක්‍රියාවලියකි.එය යථාර්ථය ප්‍රති නිර්මාණය කිරීම සදහා සකසනු ලබන විශ්මිත ක්‍රියාදාමයකි. සිනමාවේ වනස්පතියා වන්නේ සිනමාකරුවායි. එනම් සිනමා අධ්‍යක්ෂකවරයායි. අධ්‍යක්ෂවරන්ද විවිධ ආකාර වෙති. එසේම ඒ අයට ආවේනික වූ විවිධ සිනමා රීති සහ ආකාරයන්ද වෙයි. ඒ අනුව බලන විට සිනමාවට පිවිසෙන නිර්මාණකරුවකු හුදු තාක්ෂණික මෙවලම් මගින් රූප වාත්තු කරන සිනමා වඩුවකු නොවී ජීවිතයේ නාටකීය බව නිවැරදිව හසුකර ගත හැකි අයකු විය යුතු යැයි මම විශ්වාස කරමි. ඒ සදහා රූපයට පමණක්ම වහල් නොවී සාහිත්‍යයේත් නාටකයේත් රසය අවබෝධ කරගත්තකු නිර්මාණය කරන සිතුවමක් සැබැවින්ම අපුර්ව නිර්මාණ ශක්තියෙන් පිරිපුන් කෘතියක් බවට පත්වෙයි. ලොව විවිධ වකවානුවල සිනමාවේ යෙදුනු විවිධ සිනමා අධක්ෂකවරුන් දෙස බැලීමේදී මෙම සත්‍යය පසක් කර ගත හැකිය. අනෙක් අතින් බලන විට සිනමාව එක්වරම පහල වු කලාවක් නොවන අතර එය කවිය- චිත්‍රශිල්පය නාට්‍යය යන විවිධ කලාවන්ගෙන් සැදුම් ලත් සංස්ලේශී කලාවක් බවද පෙනෙයි. ඒ නයින් බලන කල කවිය- බස- සාහිත්‍යය නාට්‍යය අතැඹුලක් සේ භාවිතා කරමින් නිර්මාණකරණයේ යෙදෙන්නා සැබැවින්ම සිනමා කවියෙකි. ස්වීඩන් සිනමාකරු වූ ඉංග්මාර් බර්ග්මාන් අයත් වන්නේ එවැනි සිනමා කිවිදුන්ගේ පරම්පරාවටය.
ඉංග්මාර් බර්ග්මාන් සිනමාවට පා තබන්නේ නාට්‍ය කලාව තුලිනි. 12 හැවිරිදි වියේදීම ස්විඩනයේ මහා නාට්‍යකරුවා වූ ස්ට්‍රීන්ඩ්බර් ගේ නාට්‍යවල තිරයේ පිටුපස සිට නාට්‍ය කලාවට පිවිසෙන බර්ග්මාන් පසුව සිය ආත්මය නාට්‍ය කලාව හරහා වගුරවමින් ස්විඩනයේ මහා නාට්‍යකරුවා බවට පත්වෙයි. ස්වීඩනයේ නාට්‍ය රන් දෙවොල වෙනුවෙන් සියයකටත් අධික නාට්‍යයන් නිර්මාණය කල හෙතෙම කිවියෙක්ද වෙයි.
බර්ගමාන් සිය සිනමා සෞන්දර්ය චාරිකාව අරඹන්නේ 1945 දී ක්‍රයිසිස් චිත්‍රපටය තුලිනි. “ක්‍රයිසිස් චිත්‍රපටය රූගත කිරීමම තමාට මහත් ප්‍රශ්නයක් වු බව ඔහු සදහන් කරන්නේ සිය ජීවිත කතාව ලියන විටදීය. ගැටවරවියේ සිටම දඩබ්බරයකු වු ඉංග්මාර් බර්ග්මාන් සිය ප්‍රථම චිත්‍රපටයේදීම කැමරාකරු වු ගොස්ටා රූස්ලීන් සහ සෙසු ශිල්පීන් සමග කලහ කරගත්තකු වීය. එහෙත් එයට ප්‍රධාන ලෙස බලපෑවේ එකල ආධුනිකයකු වූ බර්ග්මාන්ට එරෙහි වූ නිෂ්පාදක බලධාරිත්වයයි.අනෙක් අතින් ක්‍රයිසිස් චිත්‍රපටයේ කැමරා ශිල්පියා බර්ග්මාන්ගේ කැමරා කෝණ ප්‍රතික්ෂේප කිරීමද මෙම කලහයන්ට හේතු වීය. විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මැදිව ඇරඹුනු ක්‍රයිසිස් චිත්‍රපටය තුලද බර්ග්මාන්ගේ නාට්‍ය ධර්මී ගුණාංග මුසුව පවතියි. ක්‍රයිසස් නරඹන විට එහි කතාව ඉදිරියට ගලාගෙන යාමට භාවිතා කල පොතේ ගුරෙක්ද සිටියි.

බර්ග්මාන් සිනමාකරුවකු ලෙස ජගත් සිනමාවට පාත්‍ර වන්නේ ඔහුගේ ස්මයිල් ඔෆ් සමර් නයිට් චිත්‍රපටයෙනි.විසල් මැදුරක රාත්‍රියේ පවතින ප්‍රිය සාදයකදී චරිත හයක් එකිනෙක ඝට්ටනය කරමින් දිවෙන මෙහිදී එකිනෙකා තම ජීවිතයේ ඇති කුණු කන්දල් වමාරන්නට පටන් ගනිති.වේදිකා නාට්‍ය කලාවේ අංගද සහිතව ගලා යන මෙම චිත්‍රපටය උසස් නිර්මාණයක් ලෙස විචාරකයන් විසින් හදුන්වනු ලැබූ අතර ස්මයිල් ඔෆ් අ සමර් නයිට් 1956 දී කාන් සිනමා උළෙලේ සම්මානයටද පාත්‍ර විය.
බර්ග්මාන් යනු සැබැවින්ම සිහින දකිමින් ජීවත් වු නිර්මාණකරුවෙකි.එහෙත් ඔහු දකින සිහින නිතරම සුබදායි නොවු අතර තමා අවට අරක් ගත් විවිධ භුතයින් පන්නා දැමීම සදහා ඔහුට නිරතුරුවම තම සිත හා මිනිස් ආත්මය සමග සටන් කරන්නටද සිදුවිය.මිනීමැරිම්-කෝපවීම්-ලිංගික අපචාර- හුස්ම හිරකිරීම්-ඒ අතර විය. ඒ නිසාම ඔහු විවිධ වධ හිංසාවලටද භාජනයවු බව ආචාර්ය තිස්ස අබේසේකරයන් සිනමා දේශණයකදී සදහන් කල බව මට මතකය.
බර්ග්මාන් ස්මයිල් ඔෆ් අ සමර් නයිට් වලින් පසුව නිර්මාණය කලේ සෙවන්ත් සීල්- චිත්‍රපටයයි.සෙවන්ත් සීල් යන යෙදුම බර්ග්මාන් යොදන්නට ඇත්තේ ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමේ සදහන් එලිදරවි පොත තුලින් යයි මම සිතමි. බයිබලයට අනුව ලොව අවසානයේදි ක්‍රිස්තුස් වහන්සේ විසින් අවසන්මුද්‍රා සත විවෘත කරන අතර ඒ මගින් ලෝක විනාශය සිදුවන බව කිතුනු වන්ගේ මතයයි.
බර්ග්මාන්ගේ සෙවන්ත් සීල් චිත්‍රපටයේ කතාවද එවැනි විනාශකාරී කාලයක් පාදක කරවනු ලබන්නකි. 13 වන සියවසේ ස්විඩනයේ පැවැති සාගත සමය පිළිබිඹු කරන මෙහි යුධයට ගොස් නැවත පෙරලා සිය රටට එන නයිට්වරයකු හා ඔහුගේ අතවැසියකුද සිටිති. අනෙක් පසින් මාරයාද වෙයි.
සිය දූත මෙහෙවර තවමත් නිම නොවු නිසා ජීවිතය බේරා ගන්නට මාරයා සමග සටන් කරන නයිට්වරයාගේ ක්‍රියාදාමයත් අවසානයේ මාරයා විසින් අවසන් ගමනට කැදවාගෙන යාමත් කියාපාන සෙවන්ත් සීල් යථාර්ථයෙන් ඔබ්බට ගිය සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.එහි චරිතයන්ද සංඛේතවාදි වෙති.ස්විඩනයේ පැරණි ක්‍රිස්තු දේවස්ථානයක ඇද තිබූ සිතුවමක් ඇසුරින් බර්ග්මාන්ගේ සිතට නැගුනු සෙවන්ත් සීල් වර්තමානයේ වුවද විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙස සිනමා විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වු කෘතියකි.






සිය ජීවිත කාලය පුරා හදවතේ අරක් ගත් යක්ෂයින් එලවා දැමිමට විවිධ මෙහෙවරයන්හි යෙදුනු බර්ග්මාන්ගේ බොහෝ චිත්‍රපට තුල මිනිසා දෙවියන් සහ අද්භුත බලවේගයන් පිළිබදව විශ්ලේෂණය කිරීම් දැකිය හැකිය.ඒ සදහා බලපාන්නට ඇත්තේ ඔහුගේ ළමා විය බව එතුමන් විසින් ලියන ලද මැජික් ලැන්ටන් නම් ඉංග්‍රීසි කෘතිය කියවන විට අපට පසක් වෙයි. ලුතර පූජකවරයකු වු සිය පියාත් සමග හැදුනු වැඩුනු බර්ග්මාන් නිරතුරුව දෙවියන් යනු කවුරුන්දැයි පිළිගැනීමට මැලි වුවෙකි. ඇදහිල්ලට වඩා බුද්ධිය කෙරෙහි විස්වාස කල ඔහු වරක් ප්‍රකාශ කලේ ආගම යන්න තමාට බුද්ධිමත් ප්‍රශ්ණයක් පමණක් වන බවයි.
1957 දී බර්ග්මාන් නිර්මාණය කල වයිල්ඩ් ස්ට්‍රෝබරිස් - චිත්‍රපටය බර්ග්මාන්ගේ මෙතෙක් පැවති සිනමා ශෛලිය වෙනස් මගකට හැරවු චිත්‍රපටයක් ලෙස සදහන්කල හැක. තමාට ලැබීමට නියමිත සම්මානයක් වෙනුවෙන් ලුන්ඩ් සරසවියේ උත්සවයට සහභාගි වීමට ස්විඩනයේ සිට දුර බැහැර ගමනක යෙදෙන 78 හැවිරිදි ඉසක් බෝග් මහාචාර්යවරයාගේ අතීත මතක ජීවන චාරිකාව කියාපාන වයිල්ඩ් ස්ට්‍රෝබරීස් සැබැවින්ම අපුර්ව සිනමා වියමනකි.1957දී බර්ග්මාන් මෙම චිත්‍රපටයේ තිර රචනය ලියන්නේ දැඩි ලෙස ගිලන්ව ස්විඩනයෙ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විටදීය. 1960 වර්ෂයේදී මෙම චිත්‍රපටය 08 වන බර්ලින් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය දිනාගත් අතර මහා සිනමාකරුවකු වූ ස්ටැන්ලි කුබ්රික් වයිල්ඩ් ස්ට්‍රෝබරිස් හදුන්වා දුන්නේ තම ජීවිතයේ තමා දුටු හොදම දෙවන චිත්‍රපටය එය බවයි.
වයිල්ඩ් ස්ට්‍රෝබරීස් - යනු සැබැවින්ම ජීවිතය පිළිබදව නියත විවරණ ලබා දෙන මාහැගි සිත්තමකි.
2012 වර්ෂයේදී ලොව ඉහලම සිනමා සගරාවක් වන සයිට් ඇන්ඩ් සවුන්‍ඩ්- මෙම චිත්‍රපටය ලොව මෙතෙක් නිර්මාණය වු සියළු චිත්‍රපට අතරන් 63 වන ස්ථානයටද තෝරා තිබුණි. අප සිනමා ඇදුරන් වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් වරක් ප්‍රකාශ කලේ 1958 දී ගැටවරයකුව සිටි තමා මෙම චිත්‍රපටය කොළඹ නිව් ඔලිම්පියාහිදි නැරඹු බවත් තමා ශාලාවෙන් පිටවූවේ ශුද්ධ වූ පෙළහරක් දැකීමෙන් සිත් පහන් වූ බැතියකු ලෙසින් බවයි.

වරක් බර්ග්මාන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නාට්‍ය කලාව තම නිත්‍යානුකුල බිරිද වන අතර සිනමාව තම අනියම් බිරිද බවයි.කවිය සාහිත්‍යය ගැන මනා අවබෝධයක් තිබුනද බර්ග්මාන් සිය ජීවිතය පුරාම කලේ වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණය කිරීම පමණකි.බර්ග්මාන් වැඩි ආදරයක් පෑවේ සිය අනියමි බිරිදට යැයි මට සිතෙයි. වරක් මගේ උඩුගංයාමය චිත්‍රපටය ස්විඩනයේ මල්මෝ නුවර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තිරගත වු අතර ඒ අනුව මටද එහි යාමට ඇරයුමක් ලැබිණ. මා ස්විඩනයේ ස්ටොක්හොම් නුවර බලා ගියේ ඉංග්මාර් බර්ග්මාන් සිනමාකරුවා පිළිබදව තිස්ස අබේසේකරයන් විසින් කියා දුන් බොහෝ තොරතුරුද කර පින්නාගෙනය.ස්ව්ඩන් ජාතික සිනමා ආයතනයට ගොඩ වැදුනු විට ස්විඩනයට බර්ග්මාන් යනු කවුරුන්දැයි වටහා ගැනීමට මට හැකිවුවේ එහිදීය.
තෘ අ ග්ලාස් ඩාක්ලි- චිත්‍රපටයද බර්මාන් විසින් නිර්මාණය කල අනගි සිත්තමකි. සිය බොහෝ නිර්මාණවලට හේතු පාදක කර ගන්නා දෙවියන් - මිනිසා සහ අද්භුත බලවේගයන් ගැන කියාපා චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටයද හැදින්විය හැකිය. මෙහි කියැවෙන්නේ එක්තරා දූපතක නිවාඩුවක් සදහා පැමිණි පවුලක සාමාජිකයින්ගේ ‍ජීවන ශෝකාලාපයකි. ගත්කතුවර පියකු- මානසික උන්මාදයකින් පෙළෙන ඔහුගේ තරුණ දියණිය- ඇගේ සැමියා සහ දියණියගේ තරුණ සොයුරා යන චරිතයන් පෙරදැරි කරගත් බර්ග්මාන් සිය නිර්මාණය තුලින් මිනිස් ච්‍යෛතසිකයේ පවත්නා අවබෝධ කරගත නොහැකි සිතිවිලි සහ ඒවාට අරක් ගත් අධ්‍යාත්මික සත්තාවන් ගැන අප හා සංවාදයක යෙදෙයි. දියණිය නිරතුරු දෙවියන් තමා වෙසෙන කාමරයේ බිත්තිය තුලින් මතුවේ යයි සිතන අතර ඇගේ සැමියා ඇය සුව නොවන රෝගයකින් පෙළෙන බව සිතා මානසික අරගලයක යෙදෙයි.ඇගේ සොහොයුරා තමාගෙන් බැහැර වන පිය සෙනෙහස අයදින්නෙකි.බර්ග්මාන්ගේ බොහෝ කෘතිවලට සම්මාදන් වු හැරියට් ඇන්ඩසන් නම් නිළියගේ අපුර්ව රංග ලීලාවෙන් ඔප් නැංවුනු තෘ අ ග්ලාස් ඩාක්ලි- 1962 දී ඇකඩමි සම්මානය දිනු චිත්‍රපටය ද වෙයි.

වර්ෂ 1982 දී බර්ග්මාන් විසින් නිර්මිත “ ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් චිත්‍රපටය ලොව සිනමා ලෝලීන්ගේ බලවත්ම ප්‍රසාදයට පත්වු චිත්‍රපටය ලෙස සදහන් කල හැක. සිය බාලවියේ මතකයන් අතිශය සුක්ෂම ලෙස සිත්තම් කරමින් බර්ගමාන් මෙම චිත්‍රපටය තුලින් අපව අයස්කාන්ත රූප සමුදායක් මගින් මිනිස් සත්තානයේ ඇති අදුරු අහුමුළු කරා ගෙන යයි. “ ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් චිත්‍රපටයට පාදක වන්නේ හද සසල වන කතා පුවතකි. ස්විඩනයේ උප්සලා නුවර වෙසෙන ඇලෙක්සැන්ඩර් සහ ෆැනීගේ පියා හදිසියේ මියගොසිනි. ඒ නිසාම ඔවුන්ගේ මව වන එමලී නැවත සරන බන්ධනයට පත්වන්නීය.මෙවර ඔවුනට සුළු පියා වන්නේ එඩ්වඩ් නැමති බිෂප්වරයෙකි.එමලී බිෂප්වරයා තුලින් සිය පවුලේ පෙර පැවති ආදරය කරැණාව හා සමගිය බලාපොරොත්තු වුවද ඒ සියල්ල සුණු විසුණුව යන්නේ බිෂප්වරයාගේ දැඩි විනයාරක්ෂක කුරිරු ක්‍රියා නිසාය. ඉන් බලවත් ලෙස පීඩාවට පත්වන්නේ ඇලෙක්සැන්ඩර් දරැවායි.ඔහු මේ නිසාම බිෂප්වරයාගේ මහල් ප්‍රසාදය තුල අතරමං වන අතර නේක දුක් කන්දරාවකටද හසුවෙයි.මෙම වයසනයන් නිසා එමලී නැවත දික්කසාදයක් ඉල්ලන අතර එය නොලැබිම නිසා ඇය සිය සැමියාටද පීඩා පමුණුවා නිවසින් පැන යයි.අවසානයේ එඩ්වඩ් මිය යන අතර ඒ නිසාම පුංචි ඇලෙක්සැන්ඩර් සිහින ලෝකයක් මැද ජීවත් වන්නට සිතුවද කුමන මොහොතක හෝ කුරිරු බිෂප්වරයා නැවත පැමිණ තමා සිරකර ගන්නේ යැයි ඔහුට සිතෙයි.

මෙම කතා පුවත මතින් දිවෙන ඉංග්මාර් බර්ග්මාන්ගේ සිනමා වියමන අපුර්ව නිර්මාණ ශක්තියෙන් පිරිපුන්ව අපව කැදවාගෙන යන්නේ විශ්මිත සිනමා ලොවකටය.
මෙම බිෂප්වරයාගේ සුවිසාල මන්දීරයේ විසල් ජනේල අතරින් ගලා හැලෙන හිරු කිරණ-ඒවා පෞරාණික ගෘහ භාණ්ඩ මත වැටී නලියන හැඩ තල-චලනය වන නේක විසිතුරු වර්ණ රටා-එල්ලා ඇති විශාල චැන්ඩලීයර් ආලෝක ලාම්පු - එහි ගැබ් වු මන්දාලෝකයන්- මැජික් ලාම්පුව -කුඩා සෙල්ලම් කෝච්චිය- සමග පොරබදින කුඩා ඇලෙක්සැන්ඩර් - එමලී‍ ලෙස රගන ඊවා ෆ්රෝලිංගේ විසල් රංගනය මෙන්ම ස්වීන් නික්විස්ට්ගේ ඉන්ද්‍රජාලී රූපාලෝකණය අපට කිසිදා අමතක වෙන්නකි. සිනමා විචාරකයින් විසින් “ ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්- චිත්‍රපටය හදුන්වනු ලබන්නේ ඔහුගේ හොදම චිත්‍රපටය ලෙසිනි. බර්ග්මාන් විසින් මෙම චිත්‍රපටයට කරන ලද අනගි සම්මාදම වෙනුවෙන් ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙලේ ප්‍රධාන සම්මානය ඇතුළු තවත් සම්මාන කීපයක් ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්ට හිමිවිය. 1983 ඇකඩමි සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂකවරයා ලෙස ගෞරවයට පාත්‍ර වුවේද ඉංග්මාර් බර්ග්මාන්ය.
මා බර්ග්මාන් වරක කවියෙකු ලෙස හැදින්වුවේ ඔහු කවි ලියූ නිසාම නොවේ.ඔහු විසින් සිනමාවට දායාද කල සිනමා කව් බස නිසාමය.
බර්ග්මාන්ගේ හැම චිත්‍රපටයක්ම විරහින් ගැයූ කාව්‍යයන්ය. ඒවායේ සැරිසරන විවිධ පාත්‍ර වර්ගයෝ කිසියම් සන්තාපයක ගැලී ජීවිතයේ අරුත සොයමින් වට වන්දනාවක කරුණා කරන බැතිමතුන් සමූහයක් වැන්න.මිනිසුන්ගේ හැගීම් හා සුඛ විහරණ කියා පෑමේදී බටහිර නිර්මාණකරුවන්ගේ බොහෝ නිර්මාණ තුල දක්නට නොලැබෙන සෘංගාර රසයක් ඉංග්මාර් බර්ග්මාන්ගේ සිනමා කෘතිවලදී අපට හමුවෙයි.ඔහු නිරතුරුව සිය නිර්මාණ සදහා පාදක කරගත්තේ ආගමික බව කිසියම් කවුළුවක් ලෙස භාවිතා කරමිනි.එහෙත් ආගමික සත්තාවෙන් බැහැරව මිනිස් සිත අභ්‍යන්තය විනිවිද දකින්නට සමත් පෙළහර පෑ මේ අපූරු ඉන්ද්‍රජාලකයා දෙවියන් විසින් ජගත් සිනමා රන් දෙවොලට දායාද කල අනගි සොල්දාදුවකැයි මම සිතමි.
රූප රචනය-කැමරා භාවිතය-සංස්කරණය අදීන් සුසංයෝග වීමෙන් උපදින සිනමාවේ චමත්කාරය අපට කියා දුන් සිනමා කිවිද- ඔබට මගේ ප්‍රණාමය..


සුදත් දේවප්‍රිය


No comments:

Post a Comment