Labels

Friday, July 15, 2016




මතක

පියවරින් පියවරට මාරුවී දොඩන විට
නාටකේ මතක් වෙයි ඈත එක් දින රැයක
මහා වැසි ගැලු විට පේරාදෙණි වලට
අපි ඉතින් හිටියෙ ඇයි ඇස් තුඩග නිහඩවම


පාකෑන් ලාම්පුවෙ මළ ඇම්බර් එළියට
යාන්තමට දැක්කෙ මං නුබෙ හුස්මක සිරිය
හුරලා ගත සෙනෙහෙ පපුවටම තුරුළු කර
නෑ ගමන් යන්නටත් හිතුණා ඒ දිනේ පෙම්බර


කන්තෝරු පෙරහරින් ගැලවෙනා කණිසමට
අත වනයි මිහිරකට කලා බවනේ දොරද
ආයෙමත් දකින්නට හිතේ තිබුණත් නුබව
දරා ගන්නේ කෝම මතක සැමරුම් බෝම


සුදත් දේවප්‍රිය

Thursday, July 14, 2016





ඉන්ද්‍රජාල -
ඉතින් පැමිණීම තහනම්ය
නොහොබිනා කතන්දර ගෙන
සෙප්පඩ විජ්ජාම පෙන්වන
කෝලම් රූප තිර වෙත
අබුද්දස්සෙට පස්සේ 
රූප කෝලම් වැස්සේ
කප්පරක් මද කිපුනු ටෙලි මල්
පුෂ්පිතය මේ උයනේ
කුර ගෙවුනු ටොරින්ටන් බසයක
කැසට්ටුවෙ ගෝරනාඩුවට
ඉරි තැලී කකියයි හදවත
කැඩී ඇන්ටනා චැනලය
ගින්දර ගලනවා වගෙයි රෑට
අටහමාරේ බෙල්ටුවට
කොමඩි නැටුමකි අගේ
බෙරේ පළුවද නැතුව
ඉන්ද්‍රජාලක ගැබින්
චන්ද්‍රයා බිමට බැස
හඩා වැටෙනවා තනිවම
ටොරින්ටන් උකුල මත
සුදත් දේවප්‍රිය




පැරිස් සිනමා විත්ති - ප්‍රංශුවා ටෘෆෝ සිනමාකරුවා


ප්‍රංසුවා ටාෆෝ යනු සැබැවින්ම ප්‍රංශ සිනමා නව රැල්ලේ නියමුවකු ලෙස හැදින්වීම අතිශෝක්තියක් නොවේ. . සිනමා විචාරකයකු තිර රචකයකු - නඵවකු - කිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂකවරයකුද වු ප්‍රන්සුවා ටෘ‍ෆෝ ළමා වියේ සිටම නේක දුක් දෝමනස්සසයන්ට බදුන් වූවෙකි . ටෘෆෝ යාන්තම් වයස අවුරැදු 14 වනවිටම පිච්චර් පිස්සකු බවට පත්විය. පෝලන්ත සිනමාකරුවකු වු රෝමන් පොලොන්ස්කි මෙන්ම අනාථ දරුවකු වු ටෘෆෝ සැබැවින්ම බාලාපරාධකරුවන්ගේ නිවස්නයක හැදී වැඩුනු අයෙකු විය. වර්ෂ 1932 දී පියකුගේ ජන්මය නොමැතිව අනාථ දරැවකු ලෙස ප්‍රංශයේ රෝහලක මෙලොව එළිය දුටු ටෘෆෝට පිය වාසගම දෙන්නේ ඔහුගේ මවගේ දෙවන සැමියා වූ රෝලන්ඩි ටෘෆෝය. එහෙත් ඉනික්බිති මව්පිය සෙනෙහස අයදින පුංචි ටෘෆෝට සිදුවන්නේ මහත් කරදර රැසකට මුහුණ දිමටය.

සිය මාපියන් විසින් අත් හරනු ලබන බිළිදකු වන ඔහුව වයස අවුරැදු 08 ක් යනතුරුම හදා වඩා ගන්නේ ප්‍රංසුවා ටෘෆෝගේ මිත්තණියක විසිනි . මිත්තණිය විසින් උනන්දු කරනු ලැබිමෙන් දිනපතා සංගිතය ඇසිමට හා පොත් කියවීමට පුරැදු වන ටෘෆෝට ඇයගේ අභාවයත් සමගම නැවත අපාගත වීමට සිදුවෙයි. සිය මවගේ නිවස ඔහුට සිරගෙයක් වන අතර ඒ නිසාම හෙතෙම දෛනික ජිවිතයේ වැඩි කාලයක් නිවසින් පිටවි ගත කරන්නට පුරැදු වෙයි. පැරිසියේ නව්රුන් වීදියේ පිහිටි අදුරැ තට්ටු නිවාසයක ගෙවි ගිය සිය ළමා කාලාය සැබැවින්ම දුක් කන්දරාවක් දරාගත් සමයක් වු බව ටෘෆෝ නිරතුරු සදහන් කරයි. . එකල ඔහුගේ හොදම සගයා වුවේ රොබට් ලැහානි නමි කොලු ගැටයෙකි. රොබට් සමග පාසල් නොගොස් කට්ටි පනිමින් හොරෙන් සිනමා පට නරඹමින් නවකතා සොරකම් කර කියවමින් ගෙවු අතිතය ටෘෆෝ සිය ජිවිත කථාවේ සදහන් කරයි .

ඇමරිකානු චිත්‍රපට හොරෙන් නැරඹ්ම නිසා හටගත් සිනමා උන්මාදය කොතෙක්ද යත් 1948 දී පැරිස් නුවර සිනමා සමිතියක් පිහිටුවා ගන්නට තරමටම ටෘෆෝ සමත් විය . ඉන් ලද පන්නරය මත මහා සිනමා ඇදුරකු වු අන්ද්‍රේ බැසාන් ඇසුරට පත්වන ප්‍රංශුවා ටෘෆෝ ඒ මතින් සිය සිනමා සිහිනය සදහා ඇවැසි ඥානය ලබා ගනී . .ඒ අනුව එතෙක් පැවති ප්‍රංශ සමිමත සිනමාවට අභියෝග එල්ල කරන හෙතෙම පසුව සිනමාවේ සිය මුල්ම පෙමි පවත රුපයෙන් ලියන්නේ “ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් “ තුලිනි. .

ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් යනු සැබැවින්ම ප්‍රංශයේ අදුරු වීදිවල දුක් විදිමින් සිටි සිය ආත්මයම බව ප්‍රංසුවා පවසා සිටී. චිත්‍රපටයේ අප දකින කතා නායක අන්තුවාන් අනෙකෙකු නොව අප කතානායකයා වන ප්‍රංසුවා ටෘෆෝමය. . අදුරු පැරිස් නුවර විදියක උදැසන බඩගිනි නිසාම කිරි බෝතලයක් සොරකම් කල කොලු පැංචා ඔහුමය. .කුසගින්නේ බඩ පොත්ත සිතල අදුරු මාවත් බිමට තුරුලු කර නොනිදා නිදා ගත් කොලු ගැටයා ඔහුමය. .ඒ ප්‍රන්සුවා ටෘෆෝමය.

ජීවිතයේ යම් දිනෙක පැරිස් නුවරට යාමේ ආසාවෙන් මා පෙලෙන්නට වුවේ ෆෝ හන්ඩ්‍රඩි බ්ලෝස් චිත්‍රපටයේ අන්තුවාගේ චරිතයට පෙමි බැදීමෙනි. මා මෙම චිත්‍රපටය මුලින්ම දකින විට විසි හැවිරිදි වියේ සිටියද මා අන්තුවාට මෙතරම් ප්‍රේම කලේ ඇයි ? මඩොල් දූව නවකතාව කියවු පසුව අප සිනමා මහා ඇදුරු වු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් ගේ මඩොල් දූව නැරඹීමෙන් පසු උපාලි ගිනිවැල්ලේ ජින්නා හා පැන ගිය දූව සොයා යන්නට අපට සිත්වීම ස්වභාවිකය. .

අප එකල කොග්ගල මළලගම මඩොල් දුව සොයා චාරිකා කලෙමු. එහෙත් ටෘෆෝගේ චිත්‍රපටයේ අන්තුවා‍ බඩගින්නෙන් දිව ගිය විදිය, කිරි බෝතලයක් සොරකම් කලා වූ වීදිය දැක ගන්නට මා පෙරුම් පිරුවේ ඇයි ? ඒ අන් කිසි කරුණක් නිසා නොව ටාෆෝ නැමැති සරල සුගම සිනමාකරැවා සිය සැබෑ ආත්මය අන්තුවා තුලින් අපට මුදා හල නිසා ය .

පසුකලක නොසිතු විරැ ලෙස පැරිස්නුවරට යාමට මටද හිමිකමක් ලැබුණි. . ඒ උඩුගංයාමය චිත්‍රපටයද 2007 කාන් සිනමා උළෙල් ශ්‍රී ලංකා දිනය සදහා තෝරා ගත් බැවිනි. . එහිදි ප්‍රසන්නගේ පුර හද කළුවර, ආචාර්ය ධර්මසේන පතිරාජාගේ පොන්මනී, හදගමගේ තනි තටුවෙන් පියාඹන්න- ඇතුලු තවත් චිත්‍රපට කිපයක් තිරගත විය. . මා පැරිසිය බලා පිටත්ව ගියේ අතේ හරි හමන් මුදලක් ද නොමැතිවය. .නොමිලයේ ලද ගුවන් ටිකටි පතක් රැගෙන ඩොලර් 20 ක් අතැතිව මා ගිය ඒ ගමනට ප්‍රසන්න විතානගේද එක්විය. . මා පැරිසියේ නිදා ගත්තේ ප්‍රසන්නගේ කුඩා කාමරයේය. ඒ දින කිපය ප්‍රසන්න මට සැබැවින්ම මහත් ධෛර්යයයක් විය. . ප්‍රංශයේ කාන් නුවර පැවැති කාන් සිනමා උළෙලට වටා ආස්වාදයක් මට ගෙන දුන්නේ අන්තුවාන් දිවගිය පැරිසියේ නවරැන් විදියයි. උදැසන වුවද හිමිදිරියේ වීදියේ බඩගින්නට කිසිවක් ලබා ගන්නට පෙලහර පාන කුඩා දරැවන් තුලින් මා දුටුවේ ටෘෆෝගේ චිත්‍රපටයේ අන්තුවාන්ගේ ශෝකාලාපයයි. . බඩගින්නට කිරි බෝතලයක් සොරගත් ටෘෆෝගේම ආත්මයයි .

අන්තුවාන් රැගත් “ෆෝ හන්ඩුඩ් බ්ලෝස් චිත්‍රපටය “ ප්‍රංශ නව රැල්ලේ ආරම්භය සිදුකල අතර එයට 1959 වර්ෂයේ කාන් සිනමා උලෙලේ හොදම අධ්‍යක්ෂකට හිමි සම්මානයද හිමිවිය.
ටාෆෝ යනු සැබැවින්ම සිය නිර්මාණයන් සදහා අවංකවම කටයුතු කල සැබෑ සිනමාවේදියෙකි. සිය ආත්මයට රිසි නොවු කිසිවක් සිය තිර රචනයේ දුටු විට එය නැවත විමසා ලිවීමට තරම් හෙතෙම කාරුණික වීය. . සිය දෙවන සිනමා කෘතිය වු “ෂුට් ද පියානෝ ප්ලේයර්ස්“ රුපගත කරන විට ඔහුට දැනුනේ තමා කල්ලි සටන්කරැවන්ට ප්‍රිය මනාප නොවන බවකි. එහෙත් අවාසනාවකට මෙන් ඔහුගේ නියමිත චිත්‍රපටයේ කල්ලි සටන් කරැවන් ප්‍රධාන චරිත බවට පත්ව තිබුනේ දෛවෝපගත ලෙසිනි. සිය ආත්මයට වද දුන් මේ සිදුවීම නිසා තැවුලට පත් ටෘෆෝ රුප ගත කිරීම් සිදුවන විටදිම කල්ලි සටන්කරැවන්ට කිසියම් උපහාසාත්මක වර්ණයක් දීමට උත්සුක විය. .එකි උත්සාහය සැබැවින්ම සාර්ථක වූ අතර එය සිනමා විචාරකයින්ගේ නොමද අවධානයටද යොමුවිය. .

වර්ෂ 1973 දි ටෘෆෝ “ ඩේ ෆෝ නයිට් නමින් චිත්‍රපටයක් නිර්මාණය කලේය . එහි කතා පුවත වන්නේද චිත්‍රපටයක් තුල චිත්‍රපටයක් තැනීමට පිරිසක් ගන්නා උත්සාහයයි . එහි චිත්‍රපට අදියුරුගේ චරිතය රගන්නේද ප්‍රන්සුවා ටෘෆෝමය . මෙම චිත්‍රපටයට පාදක වන්නේද බාලවියේදී නිරතුරැව ආදරය නොලැබූ දරැවකුගේ ශෝකාලාපයයි. එනම් ටෘෆෝගේම සැබෑ ජිවන අත්දැකීමයි . ඩේ ෆෝ නයිට් චිත්‍රපටය ට 1973 දී ඔස්කාර් සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානයද හිමිවිය .
1976 දී ටෘෆෝ නිර්මාණය කල ස්මෝල් චේන්ජ් ඉතා අගනා සිතුවමක් ලෙස සිනමා වියතුන් විසින් සලකනු ලැබු බව පෙනේ . ප්‍රංසයේ පාසලක ඉගෙනුම ලබන ලමුන්ගේ විවිධ සිතුම් පැතුම් - ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ චර්යාවන් කියාපාන ස්මොල් චේන්ජ්ස් චිත්‍රපටය සාම්ප්‍රදායික වැඩිහිටි සාරධර්ම නිසා පීඩාවට පත්වු ළමා ලපටියන්ගේ කතාන්දරයයි . ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර ව්‍ර මෙම චිත්‍රපටය 26 වන බර්ලින් චිත්‍රපට උලෙලේද තිරගත විය .

ඉන් අනතුරුව ප්‍රන්සුවා ටෘෆෝ නිර්මාණය කල “ ලාස්ට් මෙට්රෝ සිනමා කෘතිය ප්‍රෙක්ෂකයින් ඇද බැද ගත් චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන්ම සදහන් කල හැකිය. . දෙවන ලෝක යුධ සමයේදී ප්‍රංශයේ ජිවත් වු නාට්‍ය අධ්‍යක්ෂක වරයකු වන ලූකස් ස්ටේනර් සහ ඔහුගේ බිරිද එකල පැවති නාසි හමුදා පාලනය තුල මුහුණ දෙන නේක දුක්ක දෝම නස්සයන් කියාපාන මෙම චිත්‍රපටය සිනමාවට ඇලුමි කරන නව පරපුර විසින් නොවරදවාම නැරඹිය යුතු කෘතියකි . චිත්‍රපටයේ නිරුපිත වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයා සිය නවතම නාට්‍යය ජනතාවට පෙන්විමට අවසාන පෙරහුරැ සකස් කරමින් සිටියි . එහෙත් ඔහුට සිය සිහිනය වන වේදිකා නිෂ්පාදනය දැසින් බලා ගන්නට නිදහසක් නොමැත . නාසි හමුදාවන් නාට්‍යාගාරය වටලා ඇති අතර ඔහුව සොයමින් සිටියි. . නාට්‍ය දර්ශනය ආරමිභ වන අතර නලු නිළියන් රංගනයේ යෙදෙති .

අධක්ෂකවරයා නාටකයේ වේදිකාව යට සැගවී සිටිමින් නාට්‍යෙය් ආස්වාදය විද දරා ගන්නේ පාත්‍ර වර්ගයාගේ වදන් හා සුසුම් හඩවල ආධාරයෙනි. . ඔහු එහිදී ජීවිතයත් මරණයත් අතර සිටින අවිහිංසකයකු ලෙස අපට දැනෙයි. . තම මංගල නිර්මාණය දිග හැරෙන වේදිකා මණ්ඩපයේ සිටියද එය සිය දැසින් නැරඹීමට හැකියාවක් නොමැති නිර්මාණ කරුවකු ගැන තවත් නමි කුමන කතාවන්ද ?ලාස්ටි මෙට්රෝ නමි සැබැවින්ම හද සසල කරවන සිනමා සිත්තමකි .

ටාෆෝගේ අවසන් චිත්‍රපටය වුවේ “කොන්ෆිඩෙන්ටලි යුවර්ස් ; චිත්‍රපටයයි . සුදු සහ කළු සිනමා කාතියක් වූ එය ලොක පූජිත සිනමාකරැවකු වු ටාෆෝ සිත්ගත්ම සිනමාකරැ වූ ඇල්ප්‍රඩි හිචිකොක්ට උත්තමාචාර පිණිස නිර්මාණය කල සිතුවමකි. .ප්‍රන්සුවා ටෘෆෝ කොතෙක් හිච්කොක්ට ඇලුම් කලේද යත් හිච්කොක් ගැන ලොව හොදම සිනමා සටහන ලියා ඇත්තේද ටෘෆෝය . එහිදි ඔහු සිය ග්‍රන්ථයේ සදහන් කරන කියමන් මගේ මතකයට නැගෙයි .
හිච්කොක් නරඹන්නන් බැද තබා ගන්නේ ඔහු ශුර ලෙස සිනමා ශිල්පය භාවිතා කරන නිසා නොවේ . සිය වෘතාන්තය ගලායාමේදී ඔහු දක්වන කතාන්දර කිමේ හැකියාව නිසාය .එය කොතෙක්දැයි කිවහොත් ප්‍රංශ තරුණයාට තම සමීප අසුනේ සිටින හිතවතිය අමතක වෙයි -.

ප්‍රන්සුවා ටෘෆෝ යනු සැබැවින්ම සාහිත්‍යයට තදින් ඇලුම් කල නිර්මාණවේදියෙකි . එය ඔහුගේ බාලවියේ සිටම පැවැති බව ටෘෆෝම පවසයි . තමාගේ එකම අරමුණ වුවේ ලමා වියේදී දිනකට චිත්‍රපට තුනක් නැරඹීමත් එමෙන්ම නවකතා පොත් තුනක් කියවීමත් බව ඔහුගේ පොතක සදහන්ය . ෆෝ හන්ඩ්‍රඩ් බ්ලෝස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අන්තුවාන්ද ප්‍රංශ ලේඛකයකුගේ පිළිමයක් ඉදිරියේ පහණක් තබනු මට මතකය . ටාෆෝ එසේ අන්තුවාන් හරහා ප්‍රංශ ලේඛක පිලිරුවට ගෞරව කරන්නේ සාහිත්‍යයට ඇති ආදරය නිසා යැයි මම සිතමි .
රංග ශිල්පියකු ලෙසද කටයුතු කල ප්‍රන්සුවා ටාෆෝ සටීවන් ස්පීල්බර්ග් නිර්මාණය කල “ ක්ලොස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩි කයින්ඩි ,“ චිත්‍රපටයේ මහාචාර්යවරයකු ලෙස ද රගපෑවේය . ටෘෆෝ සැබැවින්ම මානව හිතවාදී මිනිසෙකු විය . වරක් එක්තරා දවසක ටෘෆෝ හමුවීමට එක්තරා තරැණයකු පැමිණියේය .
සර් . මං මගේ චිත්‍රපටය රූපගත කරන්නට ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් හැදුවා . ඒක හොදද කියල කියන්න .
ටෘෆෝගේ පිළිතුර මෙසේ විය . පුතා . මට මේ ගැන යමක් කියන්නට බැහැ. එය යුක්ති සහගතත් නැහැ .
ඔබගේ චිත්‍රපටයේ වැඩ අවසන් කල පසුව මටත් කියන්න . මා නරඹා එය ගැන මට හිතෙන දේ කියන්නම් ,

මෙහි අදහස කුමක්ද ? ටෘෆෝ යනු කාර්මික තිර රචනය පසෙක තබා සිනමාව යනු ලොව මිනිසුන්ගේ මුහුණු තුල මැවෙන නාටකීය බව නළු නිළියන්ට නොරිදවා කැමරාවෙන් සියුම්ව හසුකර ගැනිම යැයි විශ්වාස කරන නිර්මාණකරුවෙක් විම යැයි මට සිතේ . එය එක්තරා අතකින් ඇත්තය. ටෘෆෝ නිතරම පැවසුවේ මගේ රුප රාමුව නිතරම සැකසෙන්නේ පසුතල ඉසවිවකදී මගේ නළු නිළියන් පුහුණු වීම් කරන අවසාන මොහොතෙන් පසුව බවයි .

1983 මේ මහා සිනමාකරුවා හදිසියේ රෝගාතුර වු අතර එයට හේතු වුවේ මොලයේ හටගත් ගෙඩියක ආසාදනයයි . වසරක් පුරා රෝගීව සිටියද සිය සිනමා ආත්මයට පණ දුන් මේ මානව හිතවාදී සිනමාකරුවා ඉන් වසරකට පසුව 1984 ඔක්තෝම්බර් 21 වැනි දින හදිසියේ සිය ජිවිතයෙන් සමුගත්තේ දහසක් සිනමා ප්‍රේක්ෂකයින් සෝ සයුරේ ගිල්වමිනි . මිය යන මොහොත වන විට ටෘෆෝ නියමිතව සිටියේ සිය සමීප හිතවතකු වු මයිලස් ෆෝමාන්ගේ ඇමඩියස් චිත්‍රපටය නැරඹීමට සුදානමි වෙමිනි .

ටෘෆෝ සිය ජීවිත කාලයෙන් ඉල්ලා සිටියේ මිය යාමට පෙර චිත්‍රපට 30 ක් නිර්මාණය කරන්නට ය . එහෙත් සියල්ල එයට හරස් වීය . පැරිසියේ නවරැන් වීදිය දිගේ බඩගින්නට කිරි බෝතලයක් සොරකම් කල සැබෑ අන්තුවාන් නොඑන ගමනක් ගොස් තිබුණි .

මට යළිත් පෙර දිනෙක පැරිසියේ මාවතක බඩගින්නට යමක් ඉල්ලමින් සිටි අපේ කාලයේ අන්තුවාන්ලා මතක් වෙයි . ඔවුන්ගේ මුහුණු තුලින් මා එදා දුටුවේ මහා සිනමාකරු ප්‍රන්සුවා ටෘෆෝගේ මුහුණයි. . බඩගින්නට කිරි බෝතලයක් හොරකම් කල ප්‍රන්සුවාගේ මුහුණයි . ඒ මුහුන සැබැවින්ම පින්බරය . නොකිළිටිය . අමතක නොවන සුළුය . පෙරදිග ලෝකයේ කුඩා දිවයිනක සිනමාවට පෙම් බදින මා වැනි කුඩා එකෙකු යුරෝපිය සංස්කාතියකට හැඩ ගැසුණු සිනමාචේදියකුට මෙතරම් සමිප වුවේ ඇයි ? ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රන්සුවා ටෘෆෝ සිය නිර්මාණ තුලින් ලොව පොළෝ තලයේ නේක දුක් විදින මිනිස් වර්ගයා ගැන අපරිමත දයාවෙන් බැලූ නිසා යැයි මට සිතෙයි .


සුදත් දේවප්‍රිය

අපේ සිනමා අසල්වැසියා - සත්‍යජිත් රායි

රුපියල් අටක මාසික වැටුපකට වෙළද දැන්ව්ම් ආයතනයක ටොපි චොකලට් සබන් දවටන කවර සිතුවමි කල බෙංගාලි තරුණ කොලු ගැටයකුට එක්තරා සිහිනයක් විය. ඒ කෙසේ හෝ සිනමාව නම් වු මහා කලා මාධ්‍යය දෙසට නැඹුරු විමටයි. මෙම සිතිවිල්ල සිය හදවත් පතුලේ සගවා ගත් හෙතෙම බෙංගාලයේ කල්කටා නුවර වීදි පුරා ඇවිද ගියේ කවදා හෝ සිනමා සංගමයක් අරඹන්නෙමියි යන සිතිවිල්ලෙනි. .ඒ අනුව වර්ෂ 1947 දී කල්කටා චිත්‍රපට කවය පිහිටුවා ගත් මේ අපුරු තරුණයා ඉන් අනතුරුව බෙංගාලි සාහිත්‍යවේදී බිබුති බුෂන් බන්ධ්‍යත්පාදිගේ පාතර් පංචලී නවකතාවට පෙමි බදින්නට පටන් ගත්තේය. . එකල ඉන්දියාවට චිත්‍රපටයක් කරන්නට ආ ප්‍රංශ සිනමාකරු රෙනුවාට මේ අපූරු තරුණයා නිතරම පැවසුවේ පාතර් පංචලී පිළිබදවය. . ඉන් මාස කිපයකට පසුව රැකියාව නිසාම ලන්ඩන් නුවරට පියාසර කරන ඔහු ලන්ඩනයේ සිටි මාස තුනක් වු කෙටි කාලය තුල නොකඩවා චිත්‍රපට 99ක් නරඹන්නේ සිනමාවට ඇති ඇමිම නිසාමය. . මේ අපුරු යෞවනයා අන් කවුරුවත් නොව ජගත් සිනමා රන් දෙවොලට අනගි සි‍නමා පිලිම රැසක් දායාද කල මහා සිනමාවේදි සත්‍යජිත් රායි ය. .

රායි ගේ සිනමා ජිවිතයට මුලකුරු කියැවෙන්නේ සිනමා ඇදුරන් හා පාසල් තුල නොවේ. . සිය පියා කුඩා කලම මිය යාම නිසා ගෙයි තනිවන විට විටෙක ඔහු ලෝකය හා ගනුදෙනු කරන්නේ සිය නිවසේ තිබු කුඩා සිදුරකින් මාවතේ යන එන මිනිසුන් දෙස වීදුරු කැබැල්ලකින් බලමිනි. . බිත්තියේ සිදුරින් තමා දකින මාවතේ යන එන මිනිස් රුප හා එහි චලන -ඒ මත වැටෙන විවිධ ආලෝක රටාවන් -පසුබිමින් ඇසෙන ස්වභාවික නාදයන් දකින්නට තමා පැය ගණන් බිත්ති සිදුර ලග සිටි බව රායි පවසන්නේ සිය බාලවියේ මතක අවදි කරමිනි . එම රුපයන් ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ පාතර් පංචලී වලදී ද අපට හමුවෙයි. . දුර්ගා තම මලනුවන් වන ඕපු දෙස බිත්ති සිදුරකින් බලනු අපට මතකය . එසේම චාරුලතා චිත්‍රපටයේ තනිකම මකා ගැනීමට මහා මන්දිරයේ කුඩා කවුඵවකින් බයිනෝවක් තුලින් එබි බලන චාරුලතාව අප මතකයට නැගෙයි .
පාතර් පංචලි නිමවන්නට මුදල් නොමැති නිසා නොකඩවා වේගයෙන් රැකියා කරන්නටත් එම ඉපයීම් ඉතුරු කරන්නටත් රායිට සිදුවෙයි . අවසානයේ චිත්‍රපටය තැනිමට තම ජීවිත රක්ෂණයද විකුණා දමන රායි කිසි දිනෙක සිනමා කැමරාවකට අත නොතැබු සුබ්රා මිත්‍ර ද සමග පාතර් පංචලී නිර්මාණය කරයි . මුළුමනින්ම ආධුනිකයන් එකතුව බිහිවන රායිගේ නෑඹුල් ඵලය වු පාතර් පංචලී ඉන් අනතුරුව 1956 දී ලොව සිනමා කරැවන්ගේ ක්ෂේම භුමියක් වූ කාන් සිනමා උළෙලේදි හොදම මානවිය සිනමා පටය ලෙසින් සමිමානයට පාත්‍ර වෙයි .

පාතර් පංචලි තුලින් ලද ආස්වාදය නිසාම අනතුරුව ඕපුගේ ජීවිතය අළලා අපුර් සංසාර් සහ අපරාජිතෝ නිර්මාණය කරන්නට රායි සමත් විය. . ඕපුගේ ගැටවර කාලයත් ඉනික්බිති තාරුණ්‍යෙයේ මල්බර විය හා විවාපත් ජිවිතයටත් බෙංගාලි පුරයේ ජීවන හුස්ම පිඹින මෙම අපුරැ ඉන්ද්‍රජාලිකයා එතැන් පටන් ඉන්දීය නාමය ලොවට ගෙනගිය බෙංගාලි තානාපතිවරයාම වීය .

ඕපු ත්‍රිත්වයේ දෙවැන්න වු අපරාජිතෝ තුලින් කුඩා ඕපුගේ ගැටවර විය නිරුපණය වෙයි . ඕපුත් මවත් -පියා වන හරිහර්ත් සිය ගමෙන් පැමිණ නගරබද ඇති ගංගා නදිය අසල ජීවත් වීමට පටන් ගනිති . පියා හින්දු පුජකයකු ලෙස සේවය කරන අතර අවසානයේ රෝගි වීම නිසා මියයයි . ඉනික්බිති ඕපු සහ මව අතර පවතින ආත්මීය සබදතාවය තිර්ව කරමින් රායි අපව ගංගා නමි නදියත් කල්කටා පුරවරයත් හරහා වට වන්දනාවක කැදවා ගෙන යයි . මව ගෙන් සමුගෙන වැඩි අකුරු උගෙනුමට නගරයට යන ඕපුත් සියල්ල අහිමිව හුදෙකලා වන හරිජයා නමි මවගේ ශෝකයත් රායි අපට පෙන්වන්නේ මුනිවරයකු විසින් රන් දෙවොලක සිතුවම් කල අනගි චිත්‍රයක් ලෙසිනි .

ඒ නිසාම අපරාජිතෝ චිත්‍රපටය 1957 දී වැනිස් සිනමා උළෙලේ හොදම චිත්‍රපටයට හිමි රන් සිංහ සමිමානය ට පාත්‍ර විය. එපමණක් නොව එම වසරේම බර්ලින් සහ කාන් සිනමා උළෙලයන්හි ප්‍රධාන සමිමානයන්ද අපරාජිතෝට හිමිවිය .

ඕපු ත්‍රිත්වයේ අවසන් කොටස ලෙසින් සත්‍යජිත් රායි නිමවු අපුර් සංසාර් රායිගේ සිනමා ජීවිතයේ තවත් කඩඉමක් සටහන් කරන්නකි . සිය මවගේ මරණයෙන් පසුව කල්කටාවේ තනිවන ඕපු රැකියාවක් නොමැතිකම නිසා දුක් විදින්නට පටන් ගනියි . වැඩි දුර උගෙන ගැනිමට ඇවැසි සි වුවත් මිල මුදල නොමැතිකම නිසා අසරණ වන ඕපු කල්කටාවේ තනිවෙයි .ඒ අනුව ඕපු නවකතාකරැවකු වීමට සිහින මවයි . . එක්තරා දිනෙක තම මිතුරකුගේ ඇරයුමෙන් ඈත ගමක තරැණියකගේ විවාහ මංගල උත්සවයකට යන ඔහු නොසිතු විරු ලෙස විවාහයේදි අත්හැර දැමු මනාලිය වු අපර්ණාව තම කුටියට කැන්දාගෙන එයි . දරැ පුසුතියේදි අපර්ණා මිය යන අතර ඉන් මානසිකව කමිපා වට පත්වන ඕපු සිය බිලිදු පුතු අත්හැර ඉන්දියාව පුරා ඇවිදිමින් ගමනාන්තයක් සොයයි .

කල්කටා පුර මැද සියතින් ගිලිහි යන ජීවිතය නැවත අල්ලා ගන්නට වෙර දරන අපුරු බැතියකුගේ ශෝකාලාපය කියාපාන අපුර් සංසාර් සැබැවින්ම ජගත් සිනමාවට අඹන ලද අනගි සිතුවමකැයි පැවසීම අතිශෝක්තියක් නොවේ . සොමිත්‍ර චැටර්ජි හා ෂර්මිලා තාගෝර් ගේ විස්මිත රංග ලිලාවන්ගෙන් ඔප නැංවුනු අපුර් සංසාර් යනු බෙංගාලයේ තවත් එක් මධ්‍යම පාන්තික ප්‍රේම පුරාවතක් නමි නොවේ . එය හුදු ප්‍රේමය නම් සත්තාවෙන් එහාට දිවෙන අපුර්ව හැගුමි සමුදායකි . අපුර් සංසාර් චිත්‍රපටය තිරගත වී අද වනවිට වසර 57 ක් ගෙවී ගොස් තිබුනද එහි පවතින නැවුමි ආස්වාදය සැබැවින්ම අපුරුය . එය අප මතකයෙන් සදා අමතක නොවන්නකි .

ඉන්දිය මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ කතාවකින් ප්‍රති නිර්මාණය වු චාරැලතා සත්‍යජිත් රායි විසින් නිර්මාණය කල තවත් ප්‍රශස්ත රුප කාව්‍යයකි . පුවත් පත් දේශපාලනයට පිවිස කුටුම්භය අමතක කල සැමියකු නිසා සිරවන අහිංසක බෙංගාලි ගැහැණියකගේ ජීවිතය කියාපාන චාරුලතා රායි නිර්මාණය කලේ 1964 දීය .
. කල්කටාවේ ධනවත් මන්දිරයක භුපතිත් ඔහුගේ සුරෑපී බිරිද චාරුලතාත් ජීවත් වෙති . . භුපති සිය පුවත් පත මගින් දේශපාලනයට පිවිස සිටින අතර ඒ නිසාම සිය බිරිද හා අල්ලාප සල්ලාපයේ යෙදිමේ කාලය ඔහුගෙන් ගිලිහි යයි. .එය තේරැම් ගත් ඔහු සිය සහෝදරයකු වන තරුණ අමල්ව ගෙන්වා ගන්නේ චාරුට උපකාර කිරීමටය. අමල්ගේ පැමිණිමත් සමගම චාරුගේ සිතුම් පැතුම් නිදහස් වන්නට පටන් ගනී. . ඇය අධ්‍යාත්මිකව නොදැනිම මෙන් අමල්ට සමීප වෙයි. එහෙත් ඒ වනවිට අමල් යළිත් චාරැගේ මහ මන්දිරයෙන් පිටව ගොසිනි. චාරුලතා යළිත් මන්දිරය තුල සිරවන කිරිල්ලියක බවට පත්වෙයි . අවසානයේ චාරුත් ඇගේ සැමියාත් නැවත සමගි වන බවක් අපට පසක් වෙයි .මෙම සරල කතා පුවත කේන්ද්‍ර කරගත් රායිගේ චාරැලතා සිත්තම නව කතාවේ හුදු සරල බව පරදවමින් සිනමා සහෘදයන් තුල විශ්මයජනක රූපාවලියක් මවයි . මහා මන්දිරයේ සිරවු චාරුගේ ජීවිතය කියාපාන සංඛෙත රුප මවන රායිගේ සිනමා රුප සහ කෝණ උසස් සංගීත නිර්මානයකදී එකිනෙක මුසු කරන ලද ස්වර රටාවක් මෙන් අප සිත් පහන් කරවයි .

මන්දිරයේ මහා කුලුණු - විශාල කොරිඩෝවන් - සුව පහසු කාමර හරහා දිවෙන කැමරාව හා බැදුනු ආලෝකය හා අදුර අපට කියාපාන්නේ එහි ජීවත්වන චාරැලතාගේ හුදෙකලාව මිස අන් කුමක්ද ? හදිසියේ හමා එන සුළං මාරැතයත් සමගම මන්දිරයට පැමිණෙන අමල්ව අප දකිමු . ක්ෂණයකින්ම මන්දිරය තුල මෙතෙක් පැවති ආලෝක රටා වෙනස් වන්නට පටන් ගනී . ඒ සමගම නැවත ජීවිතයට පණ පොවන චාරැලතාගේ පිබිදීම අප අත් විදින්නෙමු .

සිනමා රූප ගුණයෙන් අනූන වු චාරැලතා 1965 දී බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රධාන සම්මානයටද පාත්‍ර විය .එසේම එය ලොව දහස් සංඛ්‍යාත සිනමා රසිකයන් අමන්දානන්දයට පත්කල සිනමා පටයක් ලෙස හැදින්විණි .වරක් සිනමා අදියුරු රායිම ප්‍රකාශ කලේ තම සියළු චිත්‍රපටවලින් තමා වඩාත් ප්‍රිය කරන චිත්‍රපටය චාරැලතා බවයි . එසේ වුවද චාරැලතා නිර්මාණය කිරිම රායිට පහසු කටයුත්තක් නොවිණි . එහි සියලු ඇතුලත රූප ගත කිරිමි මැදිරි තුල සිදුවු අතර සියලු පසුතල නිර්මානය කරන්නට ද සිදුවිණ . අනෙක් කරුණ වූවේ රායි විසින් චාරැලතා සදහා තෝරා ගන්නා ලද මාධබී මුකර්ජි දැඩි ලෙස බුලත් කැමට පුරැදු වි සිටි නිසා ඇගේ දසන් දෙපල අවර්ණ ව තිබිමයි . එකල දත් සුදු කිරිමට සමත් වෙස් ආලේප භාවිතා නොවූ අතර ඒ නිසාම චාරැලතාගේ දසන් නොපෙනෙන ලෙස තමාට කැමරා කෝණ සාදන්නට සිදුවු බව රායි සදහන් කරයි .

රායි නිර්මාණය කල චිත්‍රපට අතර “ මහා නගර් , ද ඉතා අගනා කාතියක් ලෙස හැදින් වෙයි. කල්කටා නගරයේ ජිවත් වන මධ්‍යම පාන්තික යුවළක් වටා ගෙවුනු මහා නගර් වල කතා නායිකාව අර්තී නමි ගැහැණියයි. . සිය සැමියා සහ පවුල ජීවත් කිරීම වෙනුවෙන් දොරින් දොරට යමින් බඩු විකුණන ගැහැණියක වු අර්තී ලෙස මෙම චිත්‍රපටයේ රගපෑවේ මාධබී මුකර්ජිය . ආර්ථික අහේනිය නිසා දුකට පත් සිය පවුල නගා සිටුවන්නට උර දෙන නිදහස් ගැහැණියත් කල්කටාවේ වෙළද සමාජයත් නිරූපිත මහා නගර් කෙරෙහි සිනමා විචාරකයින් එකල නෝක්කාඩු වුවද මහා නගර් තුල සැගවුනු රායිගේ සිනමා කෞශල්‍යය කිසි විටෙක සුළු කොට සැලකිය නොහැක්කකි. මහා නගර් 1964 දී 14 වන බර්ලින් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය දිනාගත් කාතියකි .

ප්‍රති ද්වන්ධි සිනමා කාතියද රායිගේ සිනමාවේ අප්‍රකට බව ලොවට හඩගා කියන සිත්තමකි. . මෙතෙක් පුද්ගලවාදි දෘෂ්ටියකින් චරිතවල අභ්‍යන්තරයට කතා කල රායි සමාජ අසාධාරණය‘ දේශපාලන දැක්මකින් සෘජු ලෙස ප්‍රකාශ කරනුයේ මෙම චිත්‍රපටය තුලිනි. . ප්‍රති ද්වන්ධිහි නිරැපිත සිද්ධාර්ථ චරිතය අපට සදා අමතක නොවන්නකි . සිද්ධාර්ථ විරැකියාව නිසා කල්කටා පුරය පුරා ඇවිදින්නේ රැකියාවක් සොයන්නටයි . සමිමුඛ පරික්ෂණයකදී බලධාරින් ඔහුගෙන් අසන්නේ පසුගිය දශකයේ සිදුවු වැදගත් සිදුවීම කුමක්ද යන්නයි ? සිද්ධාර්ථ එයට පිළිතුර ලෙස සදහන් කරන්නේ වියට්නාම් යුද්ධයයි . මෙම පිළිතුර නිසාම ඔහුට රැකියාව ලැබීම අහිමි වෙයි. බළධාරින් ඔහු කොමියුනිස්ට් කාරයකු ලෙස සලකා බැහැර කරන අතර අවසානයේ සිද්ධාර්ථ තමාට හමුවන ඕනැම දෙයක් රැකියාවලෙස කරන්නට පටන් ගනියි .සිද්ධාර්ථ ලෙස රගපාන්නේ එකල තාරුණ්‍යයේ හිනිපෙත්තේ සිටි ද්‍රතිමන් චැටර්ජිය. . ඔහු සැබැවින්ම රංගධරයෙකි . වියපත් වු පසුත් රංගනයේ යෙදුනු චැටර්ජි මේ දිනවල තිරගත වන හදගමගේ ඇගේ ඇස අග චිත්‍රපටයේ මහාචාර්ය වරයා ලෙසද රගපායි .

ඉන් නොනවතින රායිගේ සිනමාව අනතුරුව තීන් කන්‍යා- ජල්සගාර්- හරේක් රාජා දේහ්- ඝාරේ බයිරේ- දේවී-කන්චින්ජුන්ගා- නායක්- ආරාදින් රාත්‍රි - ජන ආරණ්‍යා දක්වාම දිවෙයි . රායි කෙතරමි විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණය කලද ඔහුගේ බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා වලට සමීප වුවේ නැත . ඒ නිසාම ඔහුට නිෂ්පාදකයින් සොයා ගැනීමට හැකි චිත්‍රපට කල හැකි බව ලොවට පෙන්වන්නට සිදුවිය . රායි ජල්සාගර් චිත්‍රපටය කරන්නට සැරසෙන්නේ “අපරාජිතෝ, සිනමා කාතිය තුලින් පාඩු ලැබිම නිසා බව පෙනේ .ඒ බව ස්ථිර කරමින් ඔහු වරෙක සිය පොතක සටහනක් තබන්නේ තමා අන් චිත්‍රපට වල ඇති සේ නැටුම් ගැයුමින් පිරි කෘතියක් කල යුතුව තිබූ බවයි . ධනවත් එක් රදල ඉඩමි හිමියකුගේ ගරා වැටෙන ජීවිතය පිලිබදව විවරණය කෙරෙන ජල් සගාර් ඒ අනුව බිහිවන අතර එය නැටුම්න් ගැයුමින් යුත් සිනමා පටයක් වෙයි . එහෙත් එහි සැගව ඇති රායිගේ සිනමා ඉම අති විශිෂ්ටය . එය සිනමා රූපී බවින් අති මුවහත්ය . එසේම ජල්සගාර් ඉන්දියානු බෙංගාලි චිත්‍රපටයක් ලෙසින් ආදායමි ඉපද වූ බවද පෙනේ .

සත්‍යජිත් රායිගේ සිනමා රීතිය සැබවින්ම ධ්‍යානශීලි වුවකි . එය ආසියානු කලාපයේ 60 වන දශකයේ සිටි බොහෝ සිනමා ඇදුරන් තුලද දක්නට ලැබෙයි. ජපානයේ ඕසු - ශ්‍රී ලංකාවේ අප සිනමාවේ පියාණන් වන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මැතිදුන්ගේ සිනමා පට තුලදීද අපට මෙම රිතිය හමුවෙයි . රායි සැබැවින්ම සාහිත්‍යෙයන් පෝෂණය ලැබු සිනමාකරුවකු ලෙසද සැලකිය හැකිය . රූප ඥානය ඉහලින්ම භාවිතා කල අලංකාර ශිල්ප හරඹ වලින් විනිර්මුක්ත වූ ඔහුගේ රීතිය සැබැවින්ම සරලය . .සම්ප්‍රදායික රූප ඥාණය ප්‍රගුණ කල සිනමා පරම්පරාවට අයත් වූ රායිගෙ සිනමාවල අපට දැකිය හැක්කේද එම සරල වූ නිරායාසයෙන්ම වෘතාන්තය ගලායාමේ හැකියාවයි .

රායි සැබැවින්ම සංගීත විශාරදයෙකි . කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි .බොහෝ කලා ශිල්ප ප්‍රගුණ කල අයෙකි . චාරුලතාහි පියානෝ වාදනය කරන්නේ අන් කිසිවෙක් නොව සත්‍යජිත් රායිමය . චාරැලතා චිත්‍රපටය් සිට සිය සිනමාකාතිවල සංගීතය නිර්මාණය කරන්නේද ඔහුමය .

භාවමය සත්තාවක් වු සිනමාව කල්පනා ලෝකයක් වුවද ඔහුගේ චිත්‍රපට නරඹන විට කුමක්දෝ ආශ්චර්යයක් සිදුවන බවක් මට දැනෙයි . සංගීත ශිල්පියකුගේ අගනා ස්වර රටාවක් මෙන් මතුව එන රායිගේ රූප සමුදාය සදා අමතක නොවෙන අතර විටෙක මම එහි චරිතයන් හා ආත්මිකව බැදෙන්නෙමි . බෙංගාලි ගම්මානයේ පුංචි ඕපු හා දුර්ගා- පෝස් මාස්ටර් තින් කන්‍යාහී තැපැල් මහත්තයාට බැල මෙහෙ කරන දැරියට මෙන්ම චාරැලතා හි අමල් ට මෙන්ම ප්‍රති ද්වන්ධි හි සිද්ධාර්ථට මා මෙතරමි ප්‍රේම කරන්නේ මන්ද ? . ඒ ඉහ වහා ගිය මානව භක්තියකින් යුතුව වෘතාන්තයේ පාත්‍ර වර්ගයාට රායිගේ සිනමා වියමනෙන් පිදෙන දයාබර බැල්ම නිසා යැයි මට සිතෙයි. . .



සුදත් දේවප්‍රිය

ආදරණීය කතාවක් සිනමා සටහන- ප්‍රියන්ත කොළඹගේ සිනමාව

කඩවුනු පොරොන්දුවෙන් ඇරඹුනු මෙරට සිංහල සිනමා වංශ කතාව මුල් යුගයේදී අයත් වුවේ දකුණු ඉන්දියානු නිෂ්පාදක වරුන්ටය. එකල දැඩි ඉන්දීය සිනමා සමිමතයෙන් උපන් අප සිනමාව හැදි වැඩුනේද ද්‍රවිඩ සිනමාකරුවන්ගේ සෙවනේය . ගුණරත්නමි නායගම් අතට පත්වු සිංහල සිනමා‍වෙන් උපන් දරැවා අපේ නොවුවද ඔහු උපත ලැබුවේ අප බිමේය. අනතුරැව අප සිනමාවේ පියාණන් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් -ටයිටස් තොටවත්ත සහ විලී බ්ලේක් සමග එකතුව කන්ථක අසු සිංහල සිනමා නේරංජනාවෙන් පැන්නූවේ හෙල සිනමා රන්දෙවොල මුල්ම අනගි සම්මාදම ලෙස රේඛාව දායාද කරමිනි . රේඛාවෙන් උපන් සිංහල සිනමා තිඹිරිගෙය තුලින් උපන් මුල්ම ඵලය වුවේ ගම්පෙරළියයි . එය සැබැවින්ම මෙතෙක් අප සතු වට්ටෝරු ඉන්දිය සිනමාවට අභියෝග කල මුල්ම මෙන්ම උත්තම චිත්‍රපටයද විය . ගම් පෙරළිය නරඹා සිනමා හලෙන් එලියට ආ මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයන් පැවසුවේ කුමක්ද මා මේ දුටු ආශ්චර්යය යනුවෙනි . එතැන් පටන් යුගයෙන් යුගයට පහල වු ශ්‍රී ලාංකේය සිනමාකරැවන් විසින් හෙල සිනමා රන් දෙවොලට දායාද කල රන් පිළිම රාශියක් වෙයි . නාමික ලෙස මෙම චිත්‍රපට සියල්ල සදහන් කල නොහැකි වුවද ආචාර්ය සිරි ගුණසිංහගේ සත්සමුදුර- හෙලයේ මහා කවියාණන් වු මහගමසේකරයන්ගේ තුංමංහන්දිය ආචාර්ය තිස්ස අබේසේකරගේ විරාගය- ආචාර්ය නිහාල්සිංහගේ වැලිකතර ඉන් ප්‍රධාන තැනක් ගනී.

70 දශකයේදී සිනමාව නැඹුරැ වුවේ මහත් පිබිදිමකටය. ඒ අනුව සිනමා නැවුම් ප්‍රතිභාවක සුවද මෙරට සිනමා ප්‍රේක්ෂකයාට ලබා දුන් අප සිනමාකරැවෝ සිනමා කෙත අසුවැද්දූහ . ඒ අනුව සුගතපාල සෙනරත් යාපා- වසන්ත ඔබේසේකර-මහගමසේකර-ආචාර්ය ධර්මසේන පතිරාජා- ආචාර්ය තිස්ස අබේසේකර- සිනමා ඇදුරන් සිය නිර්මාණ බිහි කලහ .එම කෘතිවල මතුව ආ ගැඹුරැ යථාර්ථය අද දවසේද අපේ සිත් පහන් කරවයි .
80 දශකයේ මුලදී මෙම මහගු සිනමා වියමන් නිපදවීම බිද වැටුනු අතර එතෙක් පැවැති යථාර්තවාදී සිනමාව යළිත් අවතැන් කරමින් ජනප්‍රිය හින්දි සිනමා අනුකාරය ඉස්මතුවන්නට වීය . ඒ අනුව බිහිවු නිර්මාණ ගැන මෙහිදී කතා නොකලද 77 න් උපන් මෙරට වසල වෙළද කුලය සිනමාවට කල හිංසනයේ විපාක අද දවසේද අප අත් විදිමින් සිටිමු .අප සිනමාව බිද වැටෙමින් පවතියි. රුපවාහිනිය විසින් එක් යුගයකදී සිනමාව කුරුසපත් කර ගැසු ගොල්ගොතා ඇණය සිනමාව බිද වැටිමට එක් හේතුවක් වු අතර තවත් බොහෝ කාරණා ඒ සදහා බලපෑ බව අප දනිමු .

මේ වනවිට සිංහල සිනමාවේ නිපවන චිත්‍රපට ගණන දිනෙන් දින අඩුවෙමින් පවතිනවාට වඩා වැඩි වේගයකින් සිනමාහල්වල පුටු හිස්වෙමින් පවතින බව කිව යුතුය .කර්මාන්තයක් ලෙස සිනමාව අඩාල විම තුල කාර්මික ශිල්පීන් සිය ගණනින් අවතැන්ව සිටින අතර සිනමාවේ ප්‍රබල නළු නිළියන් පවා පුංචි සිහින තිරයේ මාලා නාටක තුල අතරමංව සිටිනු පෙනේ .ඒ මහත් ශිල්ප ගුණයෙන් පිරිපුන් වුවද ඔවුනට කල හැකි විකල්පයක් නොමැති බැවිනි .කර්මාන්තයක් ලෙස සිනමාව නැවතුනු නිසා ප්‍රේක්ෂක විඥාණයට අතහිත දෙන පිරිපුන් නිර්මාණද බිහි නොවන අතර සිනමා වෘක්ෂය මැරෙමින් පවතින බැවින් පුෂ්පයන් නූපදිනු විද්‍යාමාන වෙයි .
සිංහල සිනමාවට එක්වන නවතම චිත්‍රපටය වන ආදරණීය කතාවක් අපට වැදගත් වන්නේද මෙම පසුබිම යටතේය .සිනමාවේ අවරගනය සිදුවන විට නැවත හිස්වු අසුන් වෙත ප්‍රේක්ෂකයා කැන්දාගෙන ඒමේ සිනමා සම්ප්‍රදායක් වත්මනේ බිහිවිය යුතුමය . එය මෙරට තරැණ මෙන්ම මෙතෙක් නිර්මානකරණයේ යෙදුනු සිනමාකරැවන්ද සිතා බැලිය යුතු ප්‍රධාන අභියෝගයකි .


ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කල ආදරණීය කතාවක් - පවතින සිනමා අර්බුදය තුල පෙරළිකාර චිත්‍රපටයක් වනු ඇතැයි මම විශ්වාස කරමි . ඒ අනුව ආදරණීය කතාවක් අපට අහිමි වූ සිනමා ප්‍රේක්ෂකයින් යළි ලබාදෙන සිතුවමකි .ප්‍රියන්ත සිය මුල්ම චිත්‍රපටය වු1 දැහැනේ සිට විමුක්ති අරැමෝසමි වැහි හරහා වඩවා ගත් සිය රුප ඥාණයේ චමත්කාරය වඩාත් ඉස්මතු කරන්නේ මෙහිදිය . රාමුව තුල නලු නිළි පෙල ගැස්විමේදි භාවිතා කරන රංග භාණ්ඩ-වස්ත්‍රාභරණ- ඒවායේ නිසි වර්ණ රටා- ආලෝකය හා අදුර මැවීම යනාදියේදී ප්‍රියන්ත පල කරන නිපුණත්වය මෙම චිත්‍රපටයේ කැපි පෙනෙනම ලක්ෂණය ලෙස මම දකිමි.

සිනමා නිමැවුමක රුපයෙන් රුපයට මෙම ලක්ෂණ එකිනෙකට වෙනස් වනවිට එය පැහැදිලිව දැනෙන්නට වෙයි.එය වනාහී සංගිතඥයකු මනහරව වයන විට එක් ස්වරයක් වැරදිව වාදනය වුවා ලෙස දැනෙන්නකි .එහෙත් ආදරණිය කතාවක් එම ගුණය රැකගෙන ගලා යයි .බොහෝ විට සිදුවන්නේ සිනමා පටයක කතාන්දරයට කිසිවකු වශී වු විට එම රුප දෝෂ හසු නොවිමයි. එහෙත් වත්මන් ප්‍රෙක්ෂකයා වඩා ඉදිරියෙන් ලෝකය හා ගනුදෙනු කරන බැවින් මෙවැනි දෝෂ ක්ෂණයකින් අවබෝධ කර ගනිති .එහෙත් සිනමාකරැවකුට සිය කතාව මෙන්ම රුප රසයද අනිවාර්යය යැයි මම විශ්වාස කරමි .ප්‍රියන්ත ඒ බව අවබෝධ කරගත්තකු යැයි මා පවසන්නේ නිහතමානිවමය .සිය කැමරා ශිල්පී රුවන් කොස්තා හා එකතුව ප්‍රියන්ත මවන සිය සිනමා රූප සුමටය . එක් රූපයක් තවත් රූපයකට මාරැ වන්නේද නිශ්චිත ලයකට අනුව බැවින් රූප දෙස බලා සිටින්නන්ට වෙහෙසක් නොම දැනේ . එය සිනමාකරැවකුගේ පැසුණු බවට නිදසුන්ය . ඒ පැසුනු බවේ මුලික ලක්ෂණය වන්නේ ප්‍රකාශණයේ නිරවුල්බව- සහ සංක්ෂිප්තභාවයයි.

සිනමාකරැවකුට මෙම පැහැදිලි බව ලබා ගන්නට බොහෝ කාලයක් ගතවෙයි . එය හතු පිපෙන්නාක් මෙන් එක් රැයකින් පිටපතක් ලියා අනතුරැව පුටුවක වාඩිවි අධ්‍යක්ෂක ලෙසින් අණ දීමෙන් ලබා ගත හැක්කක් නොවේ . ඒ සදහා සිනමාකරැවකුය සිය ජීවිතයේ නේක දුක් විදිමින් වන්දනා ගමනක යෙදෙන්නට සිදුවෙයි . බොහෝ සිනමාකරැවන් සිය ජිවිත ජය ගන්නේද එසේමය . සිය මුල්ම කෘතියෙන් රැපඥාණය පලකරන සිනමාකරැවන් ලොව සිටින්නේ අතලොස්සකි . සිටිසන් කේන් හැදූ ඕසන් වේල්ස්ද -පාතර් පංචලී නිර්මාණය කල සත්‍යජිත් රායිද එවැන්නෝය . එහෙත් බහු සිනමාකරැවන්ට මෙම ශක්තිය ලබා ගන්නට ක්‍රමිකව සතත අභ්‍යාසයේ යෙදෙන්නට සිදුවේ .මිල මුදල ඇතිනම් චිත්‍රපටයක් කල හැකි යයි සිතන වසල වෙළද කුලයට වඩා බොහෝ දේ සිනමාකරුවකුට සිය නිමැවුම සදහා එකතු කර ගත යුතුය . රූපඥානය බිහිවන්නේද ඒ අනුවය .
ප්‍රියන්ත කොළඹගේ මෙම සිනමා රූප ඉමට ලංවන්නේ බොහෝ කාලයක් වෙර විරිය යොදා සතථ අභ්‍යාසයේ යෙදිමෙන් ලද අත්දැකිමෙනි . නිශ්චල ජායාරැප ශිල්පයෙන් උපන් ඔහු අධ්‍යක්ෂක පුටුවේ වාඩි වි සිටින්නේ එක් රැයකින් නොවේ. ක්‍රමිකව මතුව ආ ඔහුගේ රූප ප්‍රතිභාවේ කුටප්‍රාප්තිය ආදරණීය කතාව තුලින් විද්‍යාමාන වෙයි . .ජිවිතය තුල ක්‍රමිකව මතු කරගත් මෙවැනි රපඥාණය ලබන සිනමාකරැවන් සැබැවින්ම වාසනාවන්තය . ප්‍රියන්තද එවැන්නෙකි .

සිය ජීවිත නිර්මාණවේදයේ තවත් කඩඉමක් පසුකරන ප්‍රියන්ත කඩා වැටුනු අප සිනමා කර්මාන්තයට ලබා දෙන සම්මාදම මට නමි කිසිසේත් ලුහුඩු කර දැක්විය නොහැකි වෙයි . එය නිර්මානකරුවකු ලෙස මා අගය කල යුත්තකි.නොඑසේ නම් මා කුහක යැයි මට සිතෙයි . .මේ ලිපිය කියවන ඇතැමුන් මා ගැන වෙනස් අදහස් දරනු ඇත. එහෙත් මට නම් එය කම් නැත .ආදරණීය කථාව තුල මතුව එන සිනමාකරුවාගේ රුපාවේශය මට අමතක කල නොහැකිය .කඩා වැටෙන සිනමාව වෙනුවෙන් කරනු ලබන මේ සම්මාදමට මා අවංක විය යුතුය . චිත්‍රපටයක් සම්භව්‍යයද නැතහොත් එසේ නොවන්නේදැයි සමහරු තර්ක කරති .ඒවා අයත් වන්නේ බුද්ධ්මත් විචාරක වියතුන්ටය .මා ලියන්නේ මට සිතෙන සිත් සටහනයි .

ආදරණීය කතාවක් නරඹා එහි අඩුපාඩු ඇත්දැයි විමසීම අප ඉදිරියේ මනහර නර්තනයක යෙදෙන මොණර කිකිළියකගේ ගැලවුනු පියාපතක ඇද සෙවිම තරමටම අනුවණකමක් යැයි මට සිතෙයි .
හිමිදිරි පාන්දර අවදිවන විට කැළණි ගං මිටියාවතේ සුළග සමග පියඹා එන කුරැල්ලකු මම ඉදහිට දකිමි . රලු පරළු කැළණි හන්දියේ නුවර පාර සමීපයේ තරග කරන රිය සක නලා හඩ තලන්නට පෙර ඇසෙන මේ කුරැලු නදට මම පෙම් කරමි . එහෙත් ඒ කුරැල්ලා කියන්නේ කුමක්දැයි මට තේරැම් නොයයි .මම ඒ ගැන පෙරලා උගෙන් ප්‍රශ්නද නොකරමි . එහෙත් කුරැලු තෙම ගයන නාදයේ ස්වරය කන්කළුය . ප්‍රියන්ත කොළඹගේ සහෘදයාගේ ආදරණීය කතාවක් හි රුප රචනයේද මා දක්නේ එයයි .
හිස්ව ගිය සිනමාහලට යලි සහෘදයන් කැදවන සිනමා සහෘද ප්‍රියන්ත -ගොර බීරැම් හඩ අවටින් ඇසුණාවේ. හෙල සිනමාව වෙනුවෙන්ම ඔබ සිනමා ගීය නොනවතා ගයන්න .

සුදත් දේවප්‍රිය
17 .06.2016

හිමිදිරිය.

Wednesday, July 13, 2016








චෙරි ගෙඩියක නැවුම් රස-
(අබ්බාස් කියරොස්තාමි සිනමාකරුගේ නික්මයාම වෙනුවෙනි)




එකිනෙක පෙරළාගෙන පියාඹන්නට පොරකන රියසක නොකඩවා ඉදිරියට ඇදෙයි. දූලි වලා මැදින් ගලන හිරි ගඩු පිපෙන හීතලට මැදිව වීදිය දිගේ පිය මනින මිනිසුන් කතා බහකින් තොරව ගමන් කරන්නේ අවතාර සමූහයක් මෙනි. තවමත් විදියේ දෙපස කඩ සාප්පු විවෘතව නැති වුවද මිනිසුන්ගෙන් වීදිය පිරි පවතියි. වීදිය මැද සිට මැසිමක වේගයෙන් වාහන වලට සිය දෑතින් සංඥා දෙන තරැණ පොළිස් භටයාට හුස්ම ගැනිමටවත් ඉස්පාසුවක් නොමැත. ඔහුගේ සිත වීදියේ පෙනෙන රිය පෙළ අතරින් දසත දිව යයි. හෙට අනිද්දායින් ඇරඹෙන සිය විශ්ව විද්‍යාල විභාගයට ගෙවිය යුතු ගාස්තු සුළු පටු නොවේ. එය නියමිත දිනට ගෙවිය යුතුමය. තරුණයා පොළිස් භටයකු වූවේ ලලිත කලා උපාධිය හදාරන්නට මුදල් ඇවැසි නිසාමය . කලාව යන්න සිය ආත්මයේ නිසගව සැගව තිබුනද ඔහුට සිදුවූවේ මහ මග ගිනියම් අව්වේ රිය සක හා තරග කරන්නටය. මේ තරුණ පොළිස් භටයා අන් කවුරැන්වත් නොව පසු කලෙක ජගත් සිනමා රන් දෙවොලට ඉරානය රැගෙන ගිය මහා සිනමාකරු වූ අබ්බාස් කියරොස්ත්තාමිය . ඔහු ජීවිතය පටන් ගත්තේ එලෙසය.




අබ්බාස් කියරොස්ත්තාමි යනු ජගත් සිනමාවට නුපුරුදු නාමයක් නොවේ. 1997 වර්ෂයේ ලොව සිනමාකරුවන්ගේ උත්තම පාරාදිසයක් බදු කාන් සිනමා උළෙලේ පාම් දෝ සම්මානය දිනාගත්තේ ඔහුය. ඒ කියරොස්තාමි විසින් නිර්මාණය කල අසහාය සිනමා නිර්මාණය වූ ටේස්ට් ඔෆ් චෙරි චිත්‍රපටය වෙනුවෙනි.


1940 වර්ෂයේ ඉරානයේ ටෙහෙරාන් නුවර මෙළොව එළිය දුටු අබ්බාස් කියරොස්තාමි කුඩා කල සිටම චිත්‍ර ශිල්පයට දක්ෂතා දැක්වුවෙකි. දහ අට වියේ තරුණ ගැටයකුව සිටියදීම හොදම සිත්තරා ලෙස තරුණ සම්මානය දිනාගත් ඔහු ඉන් අනතුරුව ටෙහෙරාන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ ලලිත කලා උපාධිය ලබන්නටය.ඉන්දියාවේ මහා සිනමාකරු වු සත්‍යජිත් රායිට මෙන්ම කියරොස්තාමිටද සිදුවන්නේ වෙළද දැන්වීම් කලාවට පිවිසෙන්නටය. 1960 දී චිත්‍ර ශිල්පියෙකු ලෙස පෝස්ටර අදිමින් දැන්වීම් නිමවමින් සිටින ඔහු ඉනික්බිති ඉරාන රූපවාහිනිය වෙනුවෙන් වෙළද දැන්වීම් නිර්මාණය කරන්නට පටන් ගනීයි. පසුකලෙක හෙතෙම සිනමාවට පිවිසෙන්නේද චිත්‍ර ශිල්පියකු ලෙසිනි. ඒ චිත්‍රපටවල සිරස්තල ඇදීමේ කටයුත්තට එක් වෙමිනි.


1969 දී බිහිවන ඉරාන නව සිනමා රැල්ල තුලින් සිනමාවට අවතීර්ණ වන කියරොස්තාමිගේ කෝඩුකාර සිතුවම වන්නේ “ බ්රෙඩ් ඇන්ඩ් ඇලී - චිත්‍රපටයයි. පාසල් දරුවකු සහ සිය සුරතල් බල්ලා වටා ගෙතුනු මෙම චිත්‍රපටය මිනිත්තු 12 ක් පමණක්ම වීය. පසුකලෙක සිය කෝඩුකාර සිනමා ගමන ගැන ආවර්ජනයක යෙදුනු ඔහු මෙම චිත්‍රපටය ගැන සදහන් කලේ මෙසේයි .








බ්රෙඩ් ඇන්ඩ් ඇලී හදනකොට මම දුක් වින්දා. ඒ තමයි මගේ මුල්ම සිනමා අත්දැකීම. මං වැඩ කලේ ආධුනිකයන් එක්ක. අනික් අතින් මට අධ්‍යක්ෂණය කරන්න වුනේ බල්ලෙක්වයි.ළමයෙක්වයි.අත්දැකීම් තිබුනෙත් අපේ කැමරා ශිල්පියට විතරමයි. ඔහුත් නිතරම ආඩපාලි කියන කෙනෙක්. දැන් තමයි මට තේරෙන්නෙ ඔහු නිවැරදියි කියල. ඒකට හේතුව ඒ කාලෙදි මම සිනමාවේ සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමයි. මට ඒක තේරුම් ගන්න ලොකු කාලයක් ගියා .


කියරොස්තාමි ගේ සිනමා භාවිතය දෙස බැලීමේදි ඔහු බොහෝ විට සිය නිර්මාණයන්ට ළමුන් යොදා ගනු පෙනෙයි. 1973 දී කියරොස්තාමි විසින් නිර්මාණය කල “ ද ට්‍රැවලර් සිනමා කෘතියට පාදක වන්නේ ද ළමා පුවතකි. ඉරානයේ කුඩා ගමක වෙසෙක 12 හැවිරිදි දරුවකු පාපන්දු තරගයක් නැරඹීමට මුදල් නොමැතිකම නිසා විදින විවිධ දුක්ක දෝම නස්සයන් කියාපාන “ ද ට්‍රැවලර් 70 දශකයේ ඉරානයේ සමාජය පිලිබදව දැවැන්ත විවරණයක යෙදෙන සිනමා කෘතියකි.


එසේ වුවද කියරොස්තාමිගේ ප්‍රථම වෘතාන්ත සිනමා කෘතිය ලෙස පිළිගනු ලබන්නේ 1977 දී ඔහු විසින් නිර්මිත “රිපෝට් චිත්‍රපටයයි. රජයේ මුල්‍ය ආයතනයක බදු එකතු කරන්නකුට සිදුවන මුල්‍ය වංචාවන් නිසා බිද වැටෙන සිය ජීවිතය කියාපාන “රිපෝට් හද සසල කරවන චිත්‍රපටයක් ලෙස විචාරකයන් විසින් නමි කරනු ලැබිණ.


අබ්බාස් කියරොස්තාමි ජගත් සිනමාවේ සමිභාවනට පාත්‍ර වන්නේ 1980 දී ඔහු විසින් නිර්මානය කල “ වෙයා ඉස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම් චිත්‍රපටයෙනි. “ වෙයා ඉස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම් යනු සැබැවින්ම අපුරු සිනමා වියමනකි. වැඩිහිටි ලෝකයත් ළමා වියේ අහිංසකත්වයත් පෙර දැරි කරගත් මෙම සිතුවම ඉරාන ජන සමාජයෙන් නොනැවතී සකල ලෝකයටම ළමුන්ගේ සුවද විහිදුවමින් ගලන මහා සදුන් රුකක් වැන්න. හදිසි අමතක විමකින් තම පන්ති මිතුරාගේ පොතක් ලග තබාගත් අට හැවිරිදි දරැවකු වන අහමඩ් පාසලින් නික්ම දුවන්නේ එම පොත නැවත මිතුරාට භාර දෙන්නටයි. පොත භාර නුදුන් විට මිතුරාට පසු දින මුහුණ දීමට සිදුවන කරදරය දන්නා අහමඩ් චිත්‍රපටය පුරාම දුව පනිමින් සොයන්නේ තමා නොදන්නා මිතුරාගේ නිවසයි. ඉරානයේ සම්ප්‍රදායික ගැමි ජීවිතය දෙස සානුකම්පිතව බලන මෙම චිත්‍රපටය 1989 දී ලෝකාර්නෝ සිනමා උළෙලේ ප්‍රධාන සම්මානයටද පාත්‍ර විය. කියරොස්තාමි විසින් මෙම චිත්‍රපටය තුල තබා ඇති ඔහුගේ කවීත්වය සැබැවින්ම අපුර්වය.ළමා මනස සතු විවිධ ගුණාංගයන් සියුම් හුයකින් සිතුවම් කරමින් ඉරාන ගැමි සංස්කෘතියේ නේක රටාවන් අපට විදහා පෙන්වන “ වෙයා ඉස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම් ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍රවීම අරුමයන් නොවේ. එය එතරම්ව කාව්‍ය ගුණයෙන් පිරි අගනා සිතුවමකි.


ඉන් අනතුරුව කියරොස්තාමි අධ්‍යක්ෂණ්‍ය කලේ “ ඇන්ඩ් ලයිෆ් ගෝස් ඔන් චිත්‍රපටයයි. සිනමා අධ්‍යක්ෂකවරයකු සිය පුතණුවන්ද කැටුව “වෙයා ඉස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම් චිතුපටයට පාදක වු ඉසව්ව සොයා යන චාරිකාව කියාපාන මෙම සිතුවම පුරාම අප දකින්නේ ඉරානයේ සිදුවු භුමි කම්පාවෙන් පීඩාවට පත්වු සියල්ලයි. කියරොස්තාමි මූලික ලෙසින් චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කලේද ඉරානයේ 40 000ක් ජනතාව මරැමුවට පත් කරමින් සිදුවු මහා භුමිකමිපාව සිදුවු කෝකර් පෙදෙස පසුබිම් කරගනිමිනි.




ජීවිතයේ විවිධ හැල හැප්පිම් වලට ගොදුරු වන ගැමි සමාජය හා ළමා ලෝකය නිර්මාණය කරමින් සිටි අබ්බාස් කියරොස්තාමි ජගත් සිනමාවේ සම්භාවනාවට පාත්‍ර වන්නේ 1997 දී නිර්මාණය කල සිය අනගිභවනීය සිනා සිත්තම වන “ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටයෙනි.



ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටයට පාදක වන්නේ මැදිවියේ ඉරාන මිනිසකු සිය දිවි හානි කරගැනීමට අන් අයගේ උපකාරය බලාපොරොත්තු වන ආකාරයයි. මැදිවියේ ඉරාන වැසියකු වන බඩී සිය දිවි නසා ගැනීමට තිරණය කර සිටියි. එහෙත් තමා මැරුණු පසුව තම සිරුර වල දැමීමට කෙනෙකු සොයා ගත යුතුව ඇත. ඒ සදහා ඉදිරිපත් වන්නේ නම් මිල මුදල් ගෙවීමට ඔහු සුදානමිව සිටියි . සිය පරමාර්ථයට සහාය දෙන කිසිවකු සොයමින් ඔහු තම රිය ධාවනය කරයි. එහිදි මුලින්ම ඔහුට තරුණ කර්ඩිෂ් යුධ භටයකු මුණ ගැසෙයි. එහෙත් ඔහු බඩීගේ බසට අවනත නොවෙයි. දෙවනුව බඩීට ඇෆ්ගන් ජාතිකයකු හමුවන අතර ඔහුද බඩීගේ මරණයට සහයෝගය නොදෙන්නේ සිය දිවි හානි කරගැනීම පිළිබදව ඇති ආගමික මතවාද නිසාය. අවසානයේදී බඩීට සිය මියයාමේ සිහිනය සැබෑ කර ගන්නට අසිරි නම් මිතුරකු හමුවන අතර ඔහු එයට කැමැත්ත පල කරන්නේ තම රෝගි පුතුට අවශ්‍ය පුතිකාර ලබාගත යුතු බැවිනි. එහෙත් අවසානයේදී මිතුරා පවසන්නේ තමාද පෙර කලක දිවි නසා ගන්නට ගොස් යළි සිහි එලවා ජීවිතය අල්ලා ගත් බවයි .




ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටය යනු මෙතෙක් අබ්බාස් කියරොස්තාමි විසින් නිර්මාණය කරන ලද හොදම චිත්‍රපටය බව සිනමා විචාරකයින්ගේ මතයයි. මෙම චිත්‍රපටය 1997 දී ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ පැල් ම දෝ සම්මානය දිනාගත් අතර ඉන් අනතුරුව ලොව සිනමා වියතුන්ගේ දැඩි අවධානයටද බදුන් විය. 2012 වර්ෂයේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතනය හා සයිට් ඇන්ඩ් සවුන්ඩ්
එක්ව තෝරනු ලැබු ලොව මෙතෙක් නිර්මාණය වු හොදම චිත්‍රපට 10 සදහා “ටේස්ට් ඔෆ් අ චෙරී චිත්‍රපටය ද අඩංගු වීය.


අබ්බාස් කියරොස්තාමි යනු සිනමාකරුවකු පමණක්ම නොවේ. සකල කලා විධීන් ප්‍රගුණ කල මහා වනස්පතියෙකි. සිනමාකරුවකු තිර රචකයකු චිත්‍ර ශිල්පියකු කලා අධ්‍යක්ෂකවරයකු ජායාරූප ශිල්පියෙකු මෙන්ම කවියකු වු හෙතෙම කිසි දිනෙක සිය ජන්ම භුමිය අමතක කොට පියමං නොකල කලාකරුවකු වීය.


ඉරාන විප්ලවයත් සමග බොහෝ කලාකරුවන් සිය මව්බිම හැර දමා යන විට කියරොස්තාමි ඉරාන පොළොවේ මහා ගුණ සමුදාය අත්මිට මොළොවා ගත් අදියුරුන් වීය. වරක් ඔහු සිය සමස්ත සිනමා භාවිතයම එක් ප්‍රකාශයක් තුල කැටිකොට දැක්වුවේ මෙසේයි.


පොළොවේ මුල් ඇද ඇති ගසක් ඔබ විසින් උදුරා රැගෙන ගොස් වෙනත් පොළොවක සිටවු විට එහි තව දුරටත් ඵල හට නොගනී. අහම්බයකින් මෙන් ඵල හට ගත්තද ඒ ඵල පෙර පොළොවේ මෙන් මියුරු රස නොගනී . එය ස්වභාව ධර්මයේ රීතියයි. මා රටින් පිටව ගියේ නම් මට සිදුවන්නේද උදුරා පැල කල ගසට සිදුවූ ඉරණමයි .




භාවමය සත්තාවක් වු සිනමාව කල්පනා ලෝකයක් වුවද කියරොස්තාමිගේ චිත්‍රපට නරඹන විට කුමක්දෝ ආශ්චර්යයක් සිදුවන බවක් මට දැනෙයි . සංගීත ශිල්පියකුගේ අගනා ස්වර රටාවක් මෙන් මතුව එන ඔහුගේ සිනමා රූප කිසිදා නෙතගින් බැහැර නොවන්නකි. අබ්බාස් කියරොස්තාමිගේ සිනමාවේ නිර්මිත හැගුම් සමුදාය සදා අමතක නොවෙන අතර විටෙක මම එහි චරිතයන් හා ආත්මිකව බැදෙන්නෙමි . නෙතින් කිසිදා නුදුටු ඉරානයේ ගම්මානයක තනිවූ “ වෙයාර් ඉස් මයි ෆ්රෙන්ඩ්ස් හෝම් චිත්‍රපටයේ පුංචි අහමඩ්ට මෙන්ම ටේස්ට් ඔෆ් අ චෙරි චිත්‍රපටයේ වියපත් බඩීට ද මම ප්‍රේම කරමි. සිනමාව යනු රූප හරඹයක් නොව පොළොවේ පය ගසා නැගිටින්නට වෙර දරන පොළොව හා ගැටෙන මිනිසුන්ගේ සැබෑ ජීවිතය සිතුවම් කිරීම යැයි මම ඔබෙන් වටහා ගතිමි. ඉරාන සිනමාවේ මහා කිවිද..ඔබට මගේ ප්‍රණාම..



සුදත් දේවප්‍රිය